සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් කරන්නේ නැහැ – රවි

March 29, 2019

ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ ලෝකයේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ. අපි මෙය ආරක්ෂා කරගත යුතුයි. වන්දනාමාන සදහා පැමිණෙන බැතිමතුන්ට පහසුවක් වන පරිදි ආලෝකය ලබාදිය යුතුයි. නමුත් වන්දනා කරලා අවසන් වන වේලාවට ඒ කියන්නේ රාත්‍රී 9.00 පමණ වනවිට අපි පිට මළුවේ විදුලි ආලෝකය නිවා දමනවා. රාත්‍රී 10.00 පමණ වනවිට පෙරහැර මාවත් ආදි අනෙක් ස්ථාන වල විදුලි පහන් නිවා දමනවා. මේ දිනවල රටේ පවතින විදුලි අර්බුදය විසදා ගන්නතෙක් වත් මේ ආකාරයෙන් විදුලි පහන් නිවා දමලා, මේ උද්ගතවී තිබෙන ප්‍රශ්නයෙන් විසදුමක් ලබාගන්න සහායවන සැමටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා. විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා යැයි අනුරාධපුර, අටමස්ථානාධිපති පූජ්‍ය සිරිනිවාස  හිමිපාණන් විසින් වදාළහ.

නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ පැන් පූජා කිරීමේ මහෝස්වයේදී උන්වහන්සේ විසින් මෙම අදහස් පළ කරන ලදී.

ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙම පැන් පූජා මහෝත්සවයේ ප්‍රථම අදියර වශයෙන් බලාගාර ආශ්‍රිත ජලාශයන්ගෙන් ලබාගත් පැන් කළ රිය පෙරහැරකින් ගල්කුලම විහාරස්ථානයට වැඩමවන ලදී. අනතුරුව එහි සිට රුවන්වැලි සෑය දක්වා රිය පෙරහැරින් වැඩමවූ මෙම පැන් කල එහි තැන්පත් කර,

රුවන්වැලි සෑයේ සිට ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ දක්වා පෙත්මත දෙපස පහන් දැල්වීමෙන් අනතුරුව පැන් කළ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පූජා කිරීම සිදුකරන ලදී. අනතුරුව පසුදා අළුයම සතර වාහල්කඩ කිරිඉතිරවීමෙන් සහ මහා සංඝයාවහන්සේ විශයෙහි පිරිනමන ලද සාංගීක දානයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය අවසන් කරන ලදී. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවති මෙම පැන් පූජා පුන්‍යකර්මය,  වසර ගණනාවක පටන් පැවත එන්නක් වන අතර එවකට විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම කටයුතු ආරම්භ වී තිබේ.

Ravi anuradapura 1

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

මේ දිනවල පවතින උග්‍ර ජල හිගය නිසා විදුලය උත්පාදනය කිරීමේ ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. අපි ජනතාවගෙන් මීට පෙර කළ මේ ඉල්ලීමට ජනතාව විසින් යහපත් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. රාත්‍රී කාලයේදී පැවති ඒකක 3600 – 3700 ක් පමණ වූ විදුලි ඉල්ලුම, මේ වනවිට ඒකක 3200 ක් පමණ දක්වා අඩුවෙලා තිබෙනවා. මේ පිළිබදව අපි ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මේ උග්‍ර ප්‍රශ්නය තිබෙන්නේ තවත් දින 10 ක් වගේ කාලයකට පමණයි. අපි පොරොන්දු වෙනවා සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ කියලා. නැවතත් මෙවැනි ගැටළු ඇති නොවන පරිදි අපි සම්පූර්ණයෙන් වගබලා ගන්නවා.  අපි අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි මෙම තත්ත්වයට හේතුව තමයි ස්ථිරසාර ජනන වැඩපිළිවෙලක් ඇති නොකිරීමේ ප්‍රථිවිපාකයි මේ.

වසර ගණනාවක් තිසේසේ කිසිම ජනන වැඩපිළිවෙලක්  සිදුකරලා නැහැ. වාර්ෂිකව 6%ක් 7% ක් වගේ ප්‍රාමණයකින් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. අපිට ඉල්ලුම නවත්වන්න බැහැ. ඒ හා සමානව සැපයුමක් ඇතිකළ යුතුයි. අපි ඒ පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තවේදී දැනුවත් කරනවා. ඉන්පසුව අපි එල්.එන්.ජී. බලාගාර 07ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකතුනකුත්  සූර්ය සහ සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කරලා අවම වශයෙන් මෙගාවොට් 500ක් 600 ක්  ජාතික පද්ධතියට එකතුවන වැඩපිලිවෙලකට යන්න අපි සැලසුම් සකස් කරනවා.

බලාගාර ඉදිකරනතුරු, ජනතාවගේ විදුලි ගැටළුව විසදීම පිණිස  දැනට ජනනය සදහා යන වියදමට වඩා අඩු මදලකට මෙගාවොට් 500ක් 600ක් වගේ ප්‍රමාණයක් ඉදිරි මාස එකහමාරක තුළ ජාතික පද්ධතියට අපි එකතු කරනවා.

අපිව රවට්ටන්න, මුලාකරන්න අපි මොන්ටිසෝරි ළමයි නෙමෙයි. රටේ ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ලාබාල තර්ක ඉදිරිපත් කිරීම නොවෙයි අවශ්‍ය වන්නේ. මෙම අමාත්‍යාංශය බාර අරන් ඉතාමත් කෙටි දවසයි.  ඊට පෙර තිබුණ ජනනය කිරීමේ වැඩපිළිවෙල ඇනහිටලා තිබුණා. ඒකට ස්ථීරසාර විසදුම් ලබාදෙන්න තමයි අපි මේ කටයුතු කරන්නේ.

කෘතීම වැසි වෙනුවෙන් අධික වියදමක් දරලා නැහැ. වළාකුළු උපයෝගී කරගනිමින්, විද්‍යාත්මක ක්‍රියාදාමයක් තුළින් තමයි මෙම කර්තව්‍ය සිදුකරන්නේ. මුල් දිනවල සිදුකළ කෘතීම වැසි ඇති කිරීමේ ක්‍රියාව සාර්ථක වෙලා තිබෙනවා. මේ දිනවල වළාකුළු නොතිබීම හේතුවෙන් එම කාර්යය ඇනහිටලා තිබෙනවා. නමුත් ඉදිරි දින වලදී වළාකුළු පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනවලදී මෙම කෘතීම වැසි ඇති කිරීම සිදුකරනවා.

මේ දිනවල රාවයක් යනවා පාවෙන විදුලි බලාගාරයක් ගැන. මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඕපදූප වලට රට යටපත්වීම. අපි නිර්භීතව පියවරක් ගතයුතුයි. වසර 71 ක් තිස්සේ මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. ඒ රැවටීම තව එක දිනක්වත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි පැවසීය.

Ravi anuradapura

t

o

p