අපොස සාපෙල ප්‍රතිඵල එයි පළමු හා දෙවන ස්ථාන විශාඛාවට

March 29, 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ 2018 විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

දිවයිනේ පළමු සහ දෙවන ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන ඇත.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ, නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාව දෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබේ.

මෙවර විභාග ප්‍රතිඵල අනුව දෙවන ස්ථාන 3 ක් ශිෂ්‍යාවන් තිදෙනෙකු විසින් හිමි කර ගෙන තිබේ.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි ශිෂ්‍යාව හා මාතර සුජාතා විද්‍යාලයේ කළුආරච්චි කංකානම්ගේ මින්දි රෙබෙකා ශිෂ්‍යාව ද මෙවර දිවයිනේ දෙවන ස්ථානයන් හිමි කර ගෙන තිබේ.

දිවයිනේ දෙවන ස්ථාන 3 ක් දිනා ගැනීම හේතුවෙන් මෙවර තෙවන ස්ථානයක් වෙන් නොවන අතර, පස්වන ස්ථානය සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ලිහිණිකඩු ආරච්චිලාගේ ගයාත්‍රී හර්ෂීලා ලිහිණි කඩුආරච්චි ශිෂ්‍යාව විසින් දිනා ගෙන තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ හය වන ස්ථානයන් 5ක් හිමිව ඇති අතර, කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ සමරකෝන් රාළලාගේ සහන් යසංක සමරකෝන්, එම විද්‍යාලයේම කන්දෙ කන්කානම්ලාගේ කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ, හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සමරසිංහ පතිරණගේ හිමාෂි එරංදිකා සමරසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හිමි කර ගෙන තිබේ.

www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 656,984 ක් අයදුම්කර ඇති අතර, අපේක්ෂකයින් 518,184 ක් විභාගයට පෙනී සිට ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා පෙනී සිටීමට සියයට 71.66ක් සුදුසුකම් ලබා තිබේ.

සමස්තයක් ලෙස මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 64.11ක ප්‍රතිශතයක් ගණිතය සමත් ව ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය.

ඒ අනුව A සාමාර්ථ 9ක් ලබා ගත් සිසුන් සංඛාව 9413 වනවා.

මේ අතර මාර්තු මස 28 වන දින නිකුත් කරන ලද අ.පො.ස.සාමාන්‍ය පෙළ-2018 විභාගයට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතික පත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මඟින් අප්‍රේල් මස 1 වන දා සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

t

o

p