ඉතියෝපියා අනතුරින් පසු බෝයිං සමාගම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තහනම් කරයි

March 14, 2019

සියලුම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තාවකාලිකව තහනම් කිරීමට අමෙරිකාවේ බෝයිං සමාගම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මීටපෙර කියා සිටියේ එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය.

ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් අතරට පසුගියදා යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්වුණි.

එම තීන්දුවට මේ වනවිට කැනඩාවේද සහය හිමිව ඇත.

ඒ අනුව, ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සහ ඉන්දියාව ඔවුන්ගේ ගුවන් කලාප හරහා බෝයිං 737 මැක්ස් ගුවන් යානා පියාසර කරවීම තහනම් කිරීමට ද පියවර ගත්තේය.

එම රටවල්, එක්සත් රාජධානිය ඇතුළු අදාළ ගුවන් යානා තහනම් කරන ලද රටවල දීර්ඝ ලැයිස්තුවට එක්වූ නවතම සාමාජිකයන්ය.

මෙම තත්ත්වය නිර්මාණය වූයේ, පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසුවය.

ඒ මාස 5කට අඩු කාලයක් තුළ එම මාදිලියේ ගුවන් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාව බවට පත්වෙමිනි.

මේ අතර දිගින් දිගටම ඇමෙරිකානු බලධාරීන් කියා සිටියේ එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය.

කෙසේ වෙතත් අනතුර සිදු වූ ප්‍රදේශයේ සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇති කරුණු මත සියලුම  737 Max වර්ගයට ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගමද පියවර ගත්තේය.

ඉන් බලපෑම් එල්ල වන සමස්ත ගුවන් යානා ප්‍රමාණය 371කි.

මේ අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළේ අලුතින් නවීකරණය කරන ලද චන්ද්‍රිකා දත්ත මත පදනම්ව මෙම තීරණය ගත් බවය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී Boeing 737 MAX-8 වර්ගයට අයත් ඉන්දුනීසියාවේ Lion Air ගුවන් සේවයේ 610 දරන ගුවන් යානය ද ජාවා මුහුදු තීරයට කඩා වැටී අනතුරට පත්වුණි.

එම යානය සහ ඉතියෝපියාවේදී අනතුරට ලක් වූ එම වර්ගයේ යානය එකම පියාසර රටාවක් අනුගමනය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

බෝයිං සමාගමේ කිර්ති නාමයට විශාල කැළලක් වූ මෙම අනතුරු නිසා එහි කොටස් වෙළඳපල අගය සීඝ්‍රයෙන් පහළ බැස තිබුණි.

කෙසේ වෙතත් මෙය තාවකාලික තීරණයක් පමණක් වන අතර ඉදිරියේදී ඔවුන් ඊට විසඳුමක් ලබාදීමට පියවර ගනු ඇත.

මේ අතර අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වන විට විමර්ශකයින් විසින් සොයාගෙන ඇති අතර ඔවුන් මේ වන විට යානය කඩා වැටීමට හේතුව තහවුරු කර ගැනීම සඳහා දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

t

o

p