අය වැය ලේඛන දැක ඇතත් මෙවැනි සිහින අය වැය ලේඛනයක් දැක්කේ නැහැ – ප්‍රසන්න රණතුංග

March 12, 2019

ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් දැනුවත් කිරීමේ හමුවකට මිනුවන්ගොඩ දී ඊයේ (11) සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයි එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

පසුගිය 05 වැනි දා මේ ආණ්ඩුවේ අන්තිම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපිත් ඕනෑ තරම් අයවැය දැකලා, අහලා තියෙනවා. බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා විදියට මමත් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ වතාවේ පාර්ලිමේතුවට ඉදිරිපත් වෙච්ච ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය වගේ අයවැයක් අපි උපන්තේකට අහලා නැහැ.

අයවැය කියන එකේ තේරුමවත් නොදන්න දෙකේ පන්තියේ අවයැවයක් තමයි මේ වතාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනතාවට මේ අයවැයෙන් ලැබුණු කිසිම සහනයක් නැහැ. බදු වැඩි කරලා මිනිස්සු නොමරා මරපු අයවැයක් තමයි මංගල ඉදිරිපත් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදලා දීපු අයවැය පාර්ලිමේන්තුවේ දී කියවපු එක තමයි මංගල කළේ.

ගත්තු ණය ගෙවා ගන්න බැරිව වහ බොන්න වෙලා ඉන්න මිනිස්සුන්ට තවත් ණය දෙන්න මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. අලුතෙන් බැඳපු ජෝඩුවලට රුපියල් කෝටියක් දක්වා නිවාස ණය දෙනවා කියලා මංගල කියනවා. හැබැයි ඒවට මුදල් වෙන් කරලා නැහැ. ඛේමාගේ කොලුවාගේ අයවැයෙන් කරලා තියෙන්නේ මිනිස්සු රවට්ටන එක විතරයි.

මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ බොරුවලට රැවටෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා ඉවරයි. මිනිස්සු බලන් ඉන්නේ ඡන්දයක් එනකම්. ඒක දන්න නිසා ආණ්ඩුව ඡන්ද තියෙන්නේ නැහැ. පළාත් සභා මැතිවරණය තියන එක අවුරුදු දෙකක් තිස්සේ මඟහරිනවා. හැබැයි කොච්චර ඡන්ද කල්දැම්මත් ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි කියන එකත් අපි මතක් කරන්න ඕනේ.

අපි දැක්කා දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් මහත්තයාට තවමත් විපක්ෂ නායක ධුරයට හිමි වරප්‍රසාද ලබා දෙන්න ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන බව. ආණ්ඩුවට සහය දෙන එකම පක්ෂය වෙච්ච දෙමළ සන්ධානයට මේ වගේ දොළ පිදේනි විතරක් නෙමෙයි රටෙන් කෑල්ලක් හරි දෙන්න එක්සත් ජාතික පක්ෂයට අද සිද්ධ වෙලා තියෙනවා.

ආණ්ඩුව අද වැඩ කරන්නේ දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තරය කියන විදියටයි. ආණ්ඩුවේ අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ජාත්‍යන්තරය කිව්වොත් විතරයි හුස්ම ගන්නෙත්. දෙමළ ඩයස්පෝරාව කිව්වොත් විතරයි ආණ්ඩුව වතුර බොන්නෙත්. මේ වගේ රූකඩ ආණ්ඩුවකින් රටට පලක් නැහැ. හැම පැත්තකින්ම රට අගාධයට ඇදෙනවා විතරයි.

එක පැත්තකින් රණවිරු දඩයම ජයටම ක්‍රියාත්මක වෙනවා. ජිනීවාවල පැවැත්වෙන මානව හිමිකම් සැසියට ඉස්සර හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දත කෑවා. මේ අයට ඕනේ වෙලා තියෙන්නේ කවුරු හරි රණවිරුවෙක් දංගෙඩියට ගෙනිහින් ජාත්‍යන්තරයේ හොඳ නම දිනා ගන්නයි. ජාත්‍යන්තරය කිව්ව ගමන් කකුල් වෙවුලන ආණ්ඩුවක් තමයි අපට තියෙන්නේ.

අනෙක් පැත්තෙන් පාතාලයත් කුඩු ජාවාරමත් නීත්‍යනුකූල වෙලා. රටේ හැම තැනම කුඩු. අහිංසක දරු දැරියන් මත් කුඩු, මත් පෙතිවලට බිලි වෙලා. ජනාධිපතිවරයා යටතට පොලීසිය පවරා ගන්නකම්ම කුඩු ජාවාරම වළක්වන්න බැරි වුණා. එදා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ රටින් පැනලා ගියපු පාතාලයන් ආපහු ආවේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙයි.

ත්‍රස්තවාදය නිමා කරලා රට යම්කිසි ක්‍රමවේදයකට සංවර්ධනය කරමින් ආපු ගමන නතර වුණේ 2015 දී කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. මහින්ද මහත්තයා ජනාධිපති ධුරයේ හිටියා නම් අද මුළු රටම සංවර්ධනය වෙලා. උතුරු අධිවේගය, රත්නපුර අධිවේගය පමණක් නෙමෙයි මුළු රටම යා කරන අධිවේගී මාර්ග පද්ධතියක් හැදිලා ඉවරයි. මේ ආණ්ඩුවට අපි පටන් ගත්තු වැඩ ටිකවත් ඉවර කර ගන්න බැරි වුණා.

සමහරු අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන කලබල වෙලා තියෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා නියම වේලාවට අපි ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයටත් තියෙන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න එක මිසක් අපේ අපේක්ෂකයා තෝරන්න මහන්සි වෙන එක නෙමෙයි. සජිත් ද, කරු ද, රනිල් ද, පාඨලී ද කියලා දැන්ම තෝරා ගන්න වෙයි.

කවුරු ආවත් මේ පාර දිනන්නේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕනේ. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපි ආරම්භ කරපු ජයග්‍රාහී ගමන අවසන් කරන්නේ මේ වසර අවසන් වෙන්නට පෙර පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නට පස්සේ කියන එකත් අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා.

 

t

o

p