කිසිවකු තනතුර ආභරණයක් කර නොගත යුතුයි – ධිවර රාජ්‍ය අමාත්‍ය

February 28, 2019

ධිවරයත් ධිවර සම්පතත් විකුණන් කෑ යුගය නිමාකරමින් ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය නැවත ඇතිකිරීම සදහා සියළු නිලධාරීන් තනතුරු ආභරණයක් කර නොගෙන කටයුතු කල යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  අවධාරණය කළේය .

       රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එදා 1970 – 1977 සමයේ ජාතික සම්පතක් ලෙස සැලකු ධිවර සංස්ථාව පසුකාලීනව  විකුණන් කන සම්පතක් බවට පත්ව තිබු බවය .

      ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාව , ලංකා ධිවර සංස්ථාව , ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය , ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය සහ සීමාසහිත සි නොර් පදනම යන ආයතන සදහා නව සභාපතිවරුන් , අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් සදහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය .

     ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී  26  දින දහවල් මෙම පත්වීම් ප්‍රදානය සිදුකෙරිණ .

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  අපි යහපාලන ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් වැඩක් කරන්න ලැබුනේ නැහැ . මට අවස්ථාවක් දුන්නේ නැහැ . නමුත් මම පසුතැවුනේ නැහැ . එහෙම අවස්ථාවක් නොදුන්නත් මම නිල් ආර්ථික වැඩපිළිවෙල මේ ධිවර ක්‍ෂේත්‍රයට හදුන්වා දෙමින් විශාල වැඩ කොටසක් කරගෙන ආවා . ඒවායේ ප්‍රතිඵල දැන් අපිට ලැබෙමින් පවතිනවා . ඒ නිසා මම සතුටු වෙනවා ධිවර අමාත්‍යංශයට අයත් ආයතන සියල්ලේ වගකීම ගරු අගමැතිතුමා මා වෙත පැවරීම පිලිබදව . හැරිසන් කැබිනට් අමාත්‍යතුමත් මට මේ කටයුතු කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා . මම වගකීම අරගෙන වැඩ කරන්නේ . ඒ නිසා කිසිම කෙනෙක් මගේ කකුලෙන් අත පයින් අදින්න ලැස්ති වෙන්න එපා .

      “ ජාතික සම්පතක් වන මේ ධිවර අමාත්‍යංශය විනාශ කළා . මේක නැති කළා . මේක මුදලට යට කළා . ධිවරයත් මුදලට විකුණුවා . විකුණගෙන කාලා මේ අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ රොඩ්ඩ . මම මේ ධිවර අමාත්‍යංශය හදනවා . මට සල්ලි හම්බ කරගන්න ඕනේ නැහැ . මට ඕනේ මේ මම ආදරය කරන ධිවර කර්මාන්තයට , ධිවරයට , රටට වැඩ කරන්න . ඒ සදහා මම හොද නායකයින් කණ්ඩායම් පත්කරලා තියෙනවා . මට මේ ආයතන 05 භාර දීලා තියෙනවා . මමයි ඒ ආයතන 05 ටම වගකියන්න ඕනේ . මෙතන කවුරු සභාපති , අධ්‍යක්‍ෂක වුනත් මමයි වගකියන්න ඕනේ . මම මේ ධිවර කර්මාන්තයේ ප්‍රගතිය සලසන සේවය රටට , ජනතාවට පෙන්නන්න ඕනේ . මම මේ ආයතන වල ධිවර අමාත්‍යංශයේ වෙච්ච දේවල් වගේම කරන්න හදපු දේවල් ගැනත් දන්නවා . ඒ නිසා මේ ජනතාවගේ සම්පත් සමග කිසිම කෙනෙක් සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා .ඒ නිසා සියළු දෙනාම මේ කටයුතු සදහා සහය දිය යුතුයි .

        “ මම විශේෂයෙන් අද පත්වීම් ගත් සභාපතිවරුන් , අධ්‍යක්‍ෂකවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයිට කියනවා මේ තනතුරු ආභරණයක් කරගන්න එපා . මේ අවස්ථාව ලබාදුන්නේ වැඩක් කරලා පෙන්වන්න . තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් එනවා . ඊට පස්සේ අළුත් ආණ්ඩුවක් පිහිටුවනවා . ඒ ආණ්ඩුවේ ධිවර කැබිනට් ඇමති මම . ඒ නිසා ඔබලා අද කරන වැඩ , ඒවායෙහි ප්‍රතිඵල අනුව එදාට නැවත එක්ව වැඩකරනවද කියලා තීරණයක් ගන්නවා . මේ ආයතන එකට එක්ව එකාවන්ව එක් අරමුණක් කරා යන්න ඕනේ . එහෙම නැතිව එක් ආයතනයක් එක් ගමනක් යද්දී තවත් ආයතනයක් තවත් පැත්තකට යනවනම් මේ ගමන යන්න බැහැ . අයිස් ටික , වැලි ටික විකුනන්න පමණක් නෙමෙයි මේ ආයතන තියෙන්නේ . රටට ජනතාවට වැඩක් කරන්න . නාරා ආයතනය තියෙන්නේ පර්යේෂණ පවත්වලා මේ ධිවර කර්මාන්තය රැකගැනීම , ආරක්ෂා කරගැනීම සහ වැඩි අස්වැන්නක් ගැනීම වගේම ධිවර කර්මාන්තය නවීන තාක්‍ෂණය , නවීන මෙවලම් , වැනි කාර්යයන් සදහා , ඒ වගේම ධිවර වරාය සංස්ථාව කරන්න ඕනේ ධිවරයට පහසුකම් සැලසීම . නැක්ඩා ආයතනය ජලජිවි වගාව පිලිබදව කටයුතු කරන අතරේ සි.නොර් ආයතනය අවශ්‍ය නිෂ්පාදන බෝට්ටු දැල් වගේ කටයුතු කරන අතරේ ධිවර සංස්ථාව ධිවරයාගේ අස්වැන්නට සාදාරණයක් ඉටුකරනවා වගේම රටේ සියළු ජනතාවට හොද ගුණාත්මක මාළු ලබාදීමට කටයුතු කල යුතුයි .ඇතැම් ඇමතිවරු මේ අමාත්‍යංශය පාලනය කලත් මේකේ වටිනාකම ඒ කවුරුවත් අවබෝධ කරගත්තේ නැහැ . සාගරය , මත්ස්‍ය සම්පත වගේම ධීවරයා ආරක්ෂා කරගත යුතුයි .

      මගේ අරමුණ ධීවරයා ව්‍යාපාරිකයෙකු කරන්න .1970 – 1977 තිබු ධිවර සංස්ථාව නැවත ඇතිකරන්න ඕනේ . එදා ධිවර සංස්ථාව පාලනය කලේ ජාතික සම්පතක් ලෙස සලකලයි . නමුත් පසුකාලීනව මේ ධිවර සංස්ථාව ජාතිය විකුණන් කන සම්පතක් බවට පත්කර ගත්තා . රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන් සම්පතක් ධිවර සංස්ථාව කියන්නේ . ධිවර සංස්ථාව අද අන්ත පරිහානියටම පත් වෙලා තියෙන්නේ . සංස්ථාව වගේම සි.නොර් ආයතනය පාඩු ලබන ආයතන බවට පත්වෙලා . මේ ආයතන ගොඩගැනීමේ වගකීම භාරගෙන කටයුතු කල යුතුයි . යැයි ද ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

          මෙම අවස්ථාවට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පි,සන්දනායක මහත්මිය . අතිරේඛ ලේකම් වරුන් වන   එස්.එන්.ඩි.සේනාරත්න , පි.එන්.එම්.වික්‍රමසිංහ   ආයතන ප්‍රධානින් , එම ආයතන වල ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .

 

t

o

p