ව්‍යවස්ථාදායක සභාව එපා කියන්නේ කොමිෂන් සභා අක්‍රිය කර කුඩ්ඩන් රජ කරන්නයි – අගමැති

February 26, 2019

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩ කටයුතු ශක්තිමත් හා විධිමත් කිරීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පොලිසිය ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් එය අඩපන කිරීමේ අරමුණින් 19 වන සංශෝධනයට පහර ගසන බව ඊයේ (25) බුලත්සිංහල දී පැවසීය.

රජය ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරමින් දියත් කළ වැඩපිළිවෙළ නිසා පොලිසිය ශක්තිමත් වූ බවත්, එහි ප්‍රතිඵල ලෙස 2017 වසරේ සිට 2019 දක්වා කාලය තුළ විශාලතම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පැවසූ වික්‍රමසිංහ මහතා අධිකරණයට සහ ස්වාධීන පොලිස් කොමිසමට පහර ගැසීමෙන් සිදු වන්නේ මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරය අඩපන වී කුඩුකාරයන්ට නැවත හිස එසවීමට උදව් කිරීම බවත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් බුලත්සිංහල, ඈගල්ඔය ඉදිකෙරුණු බහුකාර්ය ගොඩනැගිල්ල, සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“අපේ රජය යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් වුණා. 19 වන සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය පොලිසියට ලැබුණා. කවුරුන් හෝ ස්වාධීන කොමිසමට පහර ගසනවා නම් ඉන් සිදුවන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීමයි. මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන අඩපන කරනවාද, එසේත් නොමැති නම් අපේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සහයෝගය ලබාදෙනවා ද යන්න ජනතාව කල්පනා කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් තුන් ගුණයක්ම වාර්තා වුණේ 2018 වසරේ සිට 2019 වසරේ පෙබරවාරි දක්වායි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා සමඟ පැවැති හමුවේ දී මධුෂ්ගේ ගැටලූව පිළිබඳව අපි ඔවුන් දැනුවත් කළා. ඒ පිළිබඳව රහසේ කටයුතු කළා. මධුෂ්ව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ එම නිසයි. ඒ අනුව අපේ රජය යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගෙන තිබෙනවා. නමුත් මෙම තත්ත්වය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට නම් තවදුරටත් පොලිසියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරු ඇතුලූ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වී සිටියහ.

t

o

p