ජාතික ආණ්ඩුව යෝජනාවට ස්ථාවර නියෝග අත්හිටුවන්න එපා – අගමැති

February 7, 2019

යහපාලන සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්නොසිටුවන ආකාරයට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) උපදෙස් දුන්නේය.

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව ගෙන ආ යුතු ආකාරය පිළිබඳව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමේදී පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඉදිරිපත් වූ කරණු සැලකිල්ලට ගන්නා ලෙසය.

යහපාලන සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට මේ වන විට ඇතුළත්ව පවතී.

ඉහත යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත්තේ සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 135ට අනුව ජාතික ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කල විට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීමට සිදුවේ.

ඊට අදාළ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල මෙසේ සඳහන් වේ.
විශේෂ කටයුත්තක් සලකා බැලීමට හෝ ඒ පිළිබඳ සලකා බැලීමට කවර රැස්වීමකට පැමිණ සිටින මන්ත්‍රිවරුන් වැඩිදෙනකු විසින් දැනුම් දීමකින් පසු යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් මෙම ස්ථාවර නියෝග වලින් ඕනෑම එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටුවිය හැක.

එනකුදු වුවත් මෙම නියෝගය යටතේ යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරයකු විසින් නොවේ නම් ඒ පිළිබඳ තීරණයක් බෙදීමකින් ගත යුතුය.තවද වැඩිපිලේ යෝජනාවට පක්ෂව ජන්දය දුන් මන්ත්‍රීන් ගණන 20කට අඩුනම් යෝජනාව නිෂ්ප්‍රභා වූ බව ප්‍රකාශ කළ යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව ජාතික ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඉහත ස්ථාවර නියෝගය යොදා නොනැගෙන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ජාතික ආණ්ඩු පිහිටුවීමේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බැවින් සාමාන්‍ය පනතක් ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වැඩිදෙනකුගේ අනුමැතිය සරල බහුතරයෙන් එය සමම්ත කළ හැකි යැයිද හේ වැඩිදුටත් කීය.

t

o

p