අගමැති රනිල්ට රාහුල් ගාන්ධි සුභ පතයි

January 11, 2019

ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ශ්‍රී රාහුල් ගාන්ධි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වී රාජකාරි ආරම්භ කිරීම  පිළිබඳව සතුටුව සුභ පැතුම් පණිවිඩයක් එවා තිබේ.

එම සුභ පැතුම් පණිවිඩය පහත දැක්වේ.

“ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම ධූරයේ නැවතත් රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව ඔබතුමාට මාගේ සුභාශිංසන පිරිනමමි.

නොබෝදා දක්නට ලැබුණු දේශපාලන ප්‍රවණතා සහ එමගින් ඇතිවූ ව්‍යවස්ථාමය අර්බූදය, ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන අප සෑම දෙනෙකුගේම කණස්සල්ලට හේතු විය. කෙසේ නමුදු,  පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඔබතුමා වෙත පැවතීමත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් යන කාරණා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සපථ කරන ලක්ෂණ ලෙස දැක්විය හැකියි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය එමගින් යළි යළිත් තහවුරු වෙයි.

අග්‍රාමාත්‍යධුරයේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙන් ඔබතුමාට මාගේ හෘදයාංගම සුභ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

විශ්වාසි,

රාහුල් ගාන්ධි

t

o

p