විදේශ දූත මණ්ඩල නිලධාරින් සමඟ ගිය සේවා සහකාරවරුන් 100ක් මෙරටට ආපසු ඇවිත් නෑ

May 3, 2017

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නිලධාරින් විසින් සේවා සහකාර නිලධාරින් ලෙස ඉකුත් රජය සමයේ විදේශ රටවලට රැගෙන ගිය පුද්ගලයන් 100 දෙනෙකු නැවත මෙරටට පැමිණ නැතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය.
තානාපති සේවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය මෙම නිලධාරින් විදේශ සේවය නිමකර පැමිණියත් ඔවුන්ගේ සේවා අවශ්‍යතා සඳහා රැගෙන ගිය පුද්ගලයන් මෙරටට පැමිණ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.
2005.01.01 දින සිට 2015.01.01 දින දක්වා කාලය තුළ තානාපති කාර්යාල සඳහා පත් කළ නිලධාරින් රැගෙන ගිය සේවා සහකාරවරුන් 100 ක පමණ පිරිසක් මෙලෙස පැමිණ නැතැයිද ආණ්ඩු පක්ෂ සංවිධායක, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇසු වාචික පිළිතුරු අපේකෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. මෙලෙස විදේශ සේවයට ගොස් පැන ගිය පිරිස සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ අය සම්බන්ධයෙන් එම රටවල පොලිසි දැනුවත් කර තිබෙන බවත් ඊට අමතරව මෙරට පොලිසි මගින් ඔවුන්ගේ පවුලේ පිරිස් සමඟ සබඳතා පවත්වන්නේද ඔවුන් සිටින්නේ කොහිද යන්න සොයා බලන බවත් ඇමතිවරයා කීවේය.
බිමල් රත්නායක මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේ පැන ගිය පුද්ගලයන් නොව ඔවුන් රැගෙන ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද යන්නයි. ඊට පිළිතුරු දුන් ඇමතිවරයා කීවේ මේ කාරණය ගැන විදේශ ඇමතිවරයා දැනුවත් කරනා බවයි.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

t

o

p