වසර 11ක් මැතිවරණ පොරොන්දුවක් වූ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම දින 28න් ඉටු කළා

May 4, 2017

වසර 11ක් තිස්සේ පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබූ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දින 28කින් ඉටු කළ යහපාලන ආණ්ඩුව, රාජ්‍ය සේවයකයන්ගෙන් තව දුරටත් ඵලදායිතාව අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  රාජ්‍ය සේවය තුළ 100% ඵලදායිතාව ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම රජයේ අරමුණ වී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ  නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) පෙරවරුවේ එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

පැමිණි සිටි පිරිස අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යරයා –

“අද ලක්ෂ 14ක පිරිසක් රාජ්‍ය සේවයේ වැඩකරනවා. ඔවුන් වෙනුවෙන් වැටුප් සඳහා යන මුදල රුපියල් බිලියන 600ක්. ඒ වගේ ම විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 182ක් වැය වෙනවා. මේ සියල්ල ජනතාවගේ මුදල්. ඒ නිසා රාජ්‍ය සේවකයන් ලෙස ඒ මුදල් වෙනුවෙන් උපරිම සේවය කරන්න කැප විය යුතුයි.

අපට මතකයි පැවැති ආණ්ඩුව වසර 11ක් තිස්සේ වැටුප් වැඩි කරන බවට අවස්ථා කිහිපයක දී පොරොන්දු දුන්නා. නමුත් අපි බලයට පත් වෙලා දින 28කින් ඉතිහාසයේ සුවිශේෂී  වැටුප් වැඩි කිරීම ලබා දුන්නා. ඒ වෙනුවෙන් සාධාරණයක් අපි බලාපොරොත්තු වෙනවා. එදා ආණ්ඩුව මාරු වුණාට රාජ්‍ය නිලධාරීන් වෙනස් වුණේ නෑ.

රාජ්‍ය සේවයක්ට සිය සේවා ස්ථානයේ වැඩ කිරීම සඳහා හිතකර පරිසරයක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. අද මේ විවෘත වන කාර්යාලයත් ඒ වගේ. සියලු පහසුකම්වලින් සමන්විත මේ කාර්යාලය තුළින් ජනතාවට උපරිම සේවයක් අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවයේ ඵලදායීතාව 100% දක්වා ඉහළ නංවන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න අපි සූදානම්” යැයි ද මුදල් අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු වන එස්.ආර්. ආටිගල, ඒ.ආර්. දේශප්‍රිය, චන්ද්‍රා ඒකනායක, අතිරේක ලේකම් ආර්. සේමසිංහ  සහ කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී. සුමනසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් සිටියහ.

t

o

p