ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතුව විශේෂ හමුදා ඒකක හදන්නේ නෑ

May 3, 2017

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්න අවශ්‍යතාවයක් රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය.
රජය කටයුතු කරන්නේ ත්‍රිවිද හමුදාවේ ශක්තිය ධෛර්ය දියුණු කිරිමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා කීවේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි සරත් ෆොන්සේකා ආරක්ෂක ප්‍රධානියා කර වෘත්තිය අරගලවලට මුහුණ දෙන්න වෙනම ඒකකයක් හදන්න ජනාධිපතිවරයා යෝජනා කළ බවට කළ ප්‍රකාශය සත්‍යදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කිරිමට යෝජනාවක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන නැති බවත් ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා කීවේය.
2017 අප්‍රේල් මස 25 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කී අගමැතිවරයා එහිදි කැබිනට් මණ්ඩලය විසින් අත්‍යව්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරිම සඳහා ඉහළ කමිටුවක්  පත් කිරිමේ වගකිම තමා වෙත පැවරු බවද කීවේය.
මෙහිදි විජිත හේරත් මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කළාද නැතිද යන්නයි.
ඊට පිළිතුරු දුන් අගමැතිවරයා කීවේ කැබිනට් සාමුහික වගකිම මත එහි සාකච්ඡා කළ දේවල් ප්‍රකාශ නොහැකි බවයි. මාධ්‍ය මගින් නොයෙක් ප්‍රශ්න අසා ඔවුන්ට අවශ්‍ය දේ පමණක් පළ කරන බව කී අගමැතිවරයා රාජිත සේනාරත්න මහතා මෙරටට පැමිණි පසු ඒ ගැන මන්ත්‍රීවරයා දැනුවත් කරන ලෙස දැනුම් දෙන බවද කීවේය.

t

o

p