උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිගයක් නැහැ -මුදල් ඇමති රවී

April 8, 2017

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරයේ අරමුණ වූයේ, උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට, පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහාය.

මෙම සංචාරය සඳහා කර්මාන්තහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාද එක්ව සිටියේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුලින්ම ගමන් ගනු ලැබුවේ, පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි සහල් තොග වෙළෙඳ සැල් නිරීක්ෂණය සඳහාය.

මෙහිදී අමාත්‍යවරයා තොග වෙළෙඳ සැල් හිමියන් සමඟ සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් පිළිබඳව අදහස් හුවමාරු හුවමාරු කරගත්තේය.

එහිදී සහල් තොග වෙළෙඳුන් කියා සිටියේ පිටකොටු තොග වෙළෙඳ සැල්වල, කිසිදු සහල් හිගයක් නොමැති බවයි. ආනයනික සහල් සඳහා රජය බදු අවම කර ඇති බැවින් ඉතා පහළ මිල ගණන් යටතේ, සහල් වෙළෙඳ පොලට නිකුත් කරන බවද ඔවුහු කියා සිටියහ.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, ඇතැම් කූට වෙළෙඳුන් උත්සව සමයේ වෙළෙඳපොල තුළ සහල් හිගයක් මවා පාමින්, සහල් මිල ඉහළ දැමීමට උත්සාහ කරන බවයි.

මෙවැනි කූට උපක්‍රම වලට, වගකිවයුතු රජයක් ලෙස කිසිදු ඉඩක් නොතබන බවත් අවධාරණය කළ රවී කරුණානායක මහතා, දේශීය ගොවියා ආරක්ෂා කරන අතරතුර, පාරිභෝගිකයාද ආරක්ෂා කිරීම රජයේ වගකීම බවද පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා.

“අතිගරු ජනාධිපතිතුමා මට පෙන්වා දුන්නා, වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිකර ඇතැම් කූට වෙළෙඳුන් සහල් මිල ඉහළ දැමීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තියෙනවා කියල. ඒ අනුව තමයි රිෂාඩ් බදුයුදින් අමාත්‍යතුමාත්, මමත් අද මේ තොග වෙළෙඳසැල් හිමියන් හමුවීමට ආවෙ. දැන් අපි දැක්ක, පිටකොටුවෙ තොග වෙළෙඳ සැල්වල කිසිදු සහල් හිඟයක් නැහැ.

සහල් මිල, පරිප්පු මිල, මුං ඇට මිල, ඉතා අඩු මට්ටමක පවතින්නෙ. සමහරු මවා පාල කියනව, උත්සව සමයේ, භාණ්ඩ මිල වැඩියි, භාණ්ඩ හිඟයක් තියෙනවා කියල. අපි ඒ අයට කියනවා, පිටකොටුව ප්‍රධාන වීදියට ඇවිත් බලන්න කියල ඇත්ත තත්ත්වය.”

මම එක ඉල්ලීමක් කරනව, තමන්ගෙ වෙළෙඳ ව්‍යාපාරය කරන ගමන්, පාරිභෝගිකයා ගැන අවධානය යොමුකර, හිතුමතේට මිල ගණන් නියම කරන්න එපා කියල.

අපි පාරිභෝගිකයා ආරක්ෂා කරන අතරතුර, නිසි බදු ප්‍රතිපත්තියක් තුළින්, දේශීය නිෂ්පාදකයාත් ආරක්ෂා කරගන්නවා,” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Ravi-visit-peta1 Ravi-visit-peta2

t

o

p