පසුගිය ආණ්ඩුව සතොසට සහල් ආනයනයෙන් කෝටි 1515ක අලාභයක් කරලා

April 8, 2017

සතොස විසින් කැබිනට් අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පසුගිය ආණ්ඩු සමයේ මාස පහක කාලයක් තුළ ගෙන් වූ සහල් මෙටි්‍රක් ටොන් 257559 ක් ආනයනය කිරිම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් සහ 2015 පෙබරවාරි දක්වා කාලය තුළ සිමාසහිත ලංකා සතොස විසින් සිදු කළ සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධව මෙම කෝප් වාර්තාව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ඉකුත් සිකුරාදා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම කාලයේ තිබු සහල් අවශ්‍යතාවය මත සහල් මෙටි්‍රක් ටොන් 50000 ක් ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලබා තිබුණද නිසි අනුමැතියකින් තොරව රුපියල් කෝටි 1165 කට ආසන්න මුදලක් ගෙවා සහල් මෙටි්‍රක් ටොන් 182, 548 ක් ලංකා සතොස ආයතනය ගෙන්වා ඇතැයි ද මෙම වාර්තාවේ දැක්වේ.
මෙලෙස ගෙන්වු සහල් ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා කිරිම සඳහා රුපියල් ලක්ෂ පනස් තුනක්ද, පෞද්ගලික ගබඩා පහසුකම් සඳහා රුපියල් විසි කෝටි අසු ලක්ෂයක්ද, ප්‍රමාද ගාස්තු ලෙස රේගුවට සහ වරාය අධිකාරියට රුපියල් එකසිය හැට හතර කෝටි හතලිස් හත් ලක්ෂයක්ද, එකී සහල් ධූමායනය කිරිම සඳහා රුපියල් කෝටි එකහමාරක්ද වැය කර ඇති බවද මෙහි දක්වා තිබේ.
ආනයනික සහල් සහන මිලට විකිණිම නිසා රුපියල් දෙසිය තිස් පන් කෝටි අසු හත් ලක්ෂයක අලාභයක් ද වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
රජයට මෙසේ අලාභ සිදුකරමින් සහල් ආනයනය කිරිමට අවසර ලබා දුන් නිලධාරින්ට සහ එම සහල් ආනයනය කළ නිලධාරින්ට නීතිය මගින් දඩුවම් ලබා දෙන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

t

o

p