පිල්ලේට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන පැවැත්වීමට ප්‍රතිපාදන නෑ

March 19, 2014

Prof G.L. Peirisමීට දින තුනකට පෙර  ඉදිරිපත් කරන ලද, ශ්‍රී ලංකාවට එරෙහි සංශෝධිත යෝජනාවේ ඇමරිකාව එහි අටවැනි ඡේදයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ වගකීම මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ වෙත පවරන බව යෝජනා කොට ඇත.

එහෙත් ඇයට එවන් විමර්ශනයක් කිරීමට සදාචාරාත්මක අයිතියක්, නෛතික පසුබිමක් මෙන්ම මූල්‍ය සම්පත් නොමැති බව විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ‘ ජිනීවා මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ‘ මැයෙන් ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වූ ජාතික විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා; ශ්‍රී ලංකාවට එරෙහි විමර්ශනයක් පිල්ලේ මහත්මියට භාර නොදිය යුතු බවත් ඇය විවෘත මනසකින් ප්‍රවේශ නොවන බවත් කීය. ” ආරම්භයේ සිටම ඇය ශ්‍රී ලංකාවට විරුද්ධව සිටියාය. මානුෂවාදී මෙහෙයුම පැවැත්වෙන කාලයේදී ත්‍රස්තවාදය පිටුදැකීම මුවාවෙන් රජය ද්‍රවිඩ ජනතාවට විරුද්ධව ක්‍රියා කරන බවට ඇය ප්‍රකාශයක් නිකුත් කළාය. ඇය උත්සාහ කළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත්‍රස්තවාදින් නොවන බව පෙන්වීමටය.  දශක තුනක්  මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු සිදු කරන ලද්දේ කවුරුන් විසින්දැ?”යි  ඇමතිවරයා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා රජයට විරුද්ධව එකම සාක්ෂියක් පවා නැතුව  ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් සතියකට පසු ශ්‍රී ලංකාවට විරුද්ධව අන්තර්ජාතික විමර්ශනයක් පැවැත්විය යුතු බව පිල්ලේ මහත්මිය ප්‍රකාශ කොට තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එනිසා ඇයට ශ්‍රී ලංකාවට එරෙහි විමර්ශනයක් කිරීමට පෙරමුණ ගැනීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ඔහු පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා අන්තර්ජාතික නීතිය අනුව එවන් විමර්ශනයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට ප්‍රතිපාදන නොමැති බවද පැහැදිලි කළේය. එමෙන්ම සැලකිය යුතු කාර්යමණ්ඩලයක් සහ පහසුකම් එවැනි විමර්ශනයක් සඳහා ඇයට අවශ්‍ය නමුත් එවැනි අයවැයක් වෙනුවෙන් ඇයට අයිතියක් නැතැයිද ඇමතිවරයා පැහැදිලි කළේය.  ඔවුන් මානව අයිතිවාසිකම් ගැටලුවලදී ඇතැම් රටවල් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව කී ඇමති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා දැන් එය තෝරාගත් රටවලට එරෙහිව දේශපාලන අවියක් ලෙස භාවිත කරන බවද කීවේය.  දිනපතා සිය ගණනක් මියයන බොහෝ රටවල් තිබේ.  ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගනී. එහෙත් ත්‍රස්තවාදය පිටුදැකීමෙන් පසු කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වී නැති ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන් අවධානය යොමු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

Courtesy: Department of Government Information

The Editor

Previous story Next story

Leave a comment

t

o

p