බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙනවා – මුදල් අමාත්‍ය රවී

March 27, 2017

ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති බවයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍රවීම නිමිත්තෙන් අද (27) මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයට එක් වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.

­ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය නොමැති නම් මේ ජයග්‍රහණය අපට ලබා ගන්නට හැකි වෙන්නෙ නැහැ. 2015 ජනවාරි 10 වැනිද අපි මේ අමාත්‍යාංශයේ වැඩ භාර ගන්න වෙලාවෙ මම ඉල්ලීමක් කළා. ඒ තමයි එක පවුලක් ලෙස මේ මුදල් අමාත්‍යාංයේ කටයුතු ඉදිරියට රැගෙන යමු කියන ඉල්ලීම. ඒක ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාවේ ඇතැම් කණ්ඩායම් ඒ දෙස වපරැසින් බැලුවත්, ජාත්‍යන්තර අපේ හැකියාව, අපේ ගමන අගය කරල තියෙනවා කියන්න මේ සම්මානය හොඳ උදාහරණයක්. මේ අගය කිරීම තමයි ශ්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා අපි යොදා ගත යුත්තේ.

ණයවලින් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒවා ආයෝජන බවට පරිවර්තනය කරගත යුතුයි. 1948 අපි නිදහස ලබා ගන්න විට අපිත් එක්ක සමාන මට්ටමේ හිටිය ජපානයේ අද ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 55,000යි. අපි තාම ඉන්නෙ අමෙරිකානු ඩොලර් 4000 මට්ටමේ. මොකක් ද අපට තියෙන ගැටලුව. අපි හිතන ආකාරය, වැඩ කරන ආකාරය සහ අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන ආකාරය තමයි ගැටලුව. ඒ නිසා මේ තියෙන්නෙ අලුතෙන් හිතන්න ඕනෙ හොඳම අවස්ථාවක්.

අපි රට බාර ගන්නකොට අපේ ආදායම මදි ණය ටික ගෙවා ගන්න. ජනතාවගේ කැපවීමෙන් සහ එකමුතුභාවයෙන් අපි ඒක ජය ගත්තා. පුනරාවර්තන විදයම්වලට වඩා අපි ආදායමක් උපයනවා. ඒ නිසා ණය ගෙවන්න ණය ගන්න ඕනෙ නෑ. මේ කෙටි කාලයක් විඳින දුෂ්කරතාව හෙට යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කරන කැප කිරීමක්. වැඩි යල් යන්න කලින් මේ බදු ප්‍රමාණය අඩු කරල ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා. යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් චන්ද්‍රා ඒකනායක, නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

t

o

p