ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවී පිදුම් ලබයි

March 25, 2017

ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සඟරාවක් වන “ද බෑන්කර් ”  සඟරාව මඟින් ආසියා පැසිෆික්  කලාපයේ  2017 වසරේ හොඳම මුදල්  අමාත්‍යවරයා ලෙස නම්  කළ ශ්‍රී ලංකා මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතාට, ඊට අදාළ සම්මාන  ප්‍රදානය ඊයේ (24) සන්ධ්‍යාවේ  ලන්ඩන් හි  පිහිටි  “ද බෑන්කර්”  සඟරාවේ  ප්‍රධාන මුලස්ථානයේ දී  පැවැත් විණි. “ද බෑන්කර්”  සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා විසින්  (Brian Caplen ) මෙම සම්මානය  රවී කරුණානායක මහතා වෙත  ප්‍රදානය  කරන ලදී.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමිණ. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි.

රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.

සම්මානය හිමි කර ගැනීමේන් පසු අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා –

“අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග මත රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා ගෙන ඇති සැලසුම්වල ප්‍රතිඵලක් ලෙස තමයි මේ සම්මානය ලැබෙන්නේ. ඒ වගේ ම මට සහය දුන් කැබිනට් අමාත්‍යවරුන්වත් සිහිපත් කළ යුතුයි.  මූල්‍ය විනයක් සහිතව රට පාලනය කරන ආකාරය ද බෑන්කර් සගරාව දැකල තමයි සම්මානය ලබා දුන්නේ. මං හිතනව මෙය
ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යාම සඳහා හොඳ අවස්ථාවක් කියල. ඒ නිසා මේ සම්මානයෙන් සියලු දෙනාට ම ශ්‍රී ලංකාව ගැන සුබ බලාපොරොත්තු තබා ගත හැකියි.” යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක්  සහ  මෙලා  කරුණානායක මහත්මිය ද  මෙම අවස්ථාවට   එක් ව සිටියහ.

t

o

p