හම්බන්තෙට ආයෝජන කලාපය චිනයට විතරක් නෙව සියළුම ආයෝජකයන්ට විවෘත්තයි

March 23, 2017

හම්බන්තොට නව ආයෝජන කලාපය චීන කොලනියක් නොවන බවත්, එහි ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු රටවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සමහර රටවල් එකඟතාව පළකර ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීසිටින අතරතුර ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව සමඟ විශේෂ සකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් පෙරේරා මහතා මේ බව පැවසිය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය, මම හිතනවා වෙළඳ නාවුක මාර්ගයට ආසන්නයේ ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා ඊට ආසන්නම වෙළඳ වරාය ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම ඉතාම වැදගත් කියලා. ඒ වගේම හම්බන්තොට වරාය ආසන්න කලාපය කර්මාන්ත පුරයක් ලෙස නගාසිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙහි ආයෝජනය සඳහා  අපි කිහිප වරක් චීන රජය සමඟත් සාකච්ඡා කළා. මෙම සංවර්ධනයන් සඳහා තව ඩොලර් මිලියන හත්අට සියයක් ආයෝජනය කලයුතුයි. ඒ සඳහා රට තවත් ණය කරන්න බැහැ. මේ වරාය ඉදිකර වසර කිහිපයක් වූනත් භාවිතයට ගැනීමට සුදුසු තත්වයක තිබුණේ නැහැ. ඒ නිසා නැව් අවෙත් නැහැ. ඒ හේතුවෙන් රජයට අදායමක් මේ වරායෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට සිදු වූණා චීනය සමඟ ආයෝජන අවස්ථා පිලිබඳ  සාකච්ඡා කරන්න චීන රජය ඊට එකඟතාව පළකළා.
විශේෂයෙන් කියන්න ඕන හම්බන්තොට කර්මාන්තපුරය චීනයට විතරක් නෙමෙයි ආයෝජනය කරන්න පුළුවන්, ඉන්දියාවට, ඔස්ට්‍රේලියාවට වගේම සියලු රටවලට ඒ සඳහා අවස්ථාව තියනවා සමහර රටවල් මේ වනවිටත් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. හම්බන්තොට ආයෝජනයන් සඳහා වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කරන්නේ ප්‍රධාන වෙළඳ නාවික මාර්ගය ආසන්නයේ පිහිටා තිබීම කියලයි මම හිතන්නේ.
ශ්‍රිලංකාවේ වරින් වර උත්සන්න වූ ප්‍රචණ්ඩ කාරී තත්වයන් සමඟ ආයෝජන අවස්ථාවන්ට සුදුසු දැයි ඕස්ට්‍රේලියා ගුවන් විදුලි නාලිකාවේ නිවේදිකාව  රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා , නැහැ අද ශ්‍රී ලංකාව ඉතාමත් සාමකාමී රටක්, එයට හොඳම උදාහරණය ශීග්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි. නව සංචාරක කලාප ඉදිකරමින්, නව ගොඩනැගිලි ඉදිකරමින්, හෝටල් පහසුකම් ඇතිකරමින් නව ආයෝජන අවස්ථා ලබාදෙමින් ඉතා හොඳ සංචාරක පුරවරයක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න මේ වන විටත් රජය කටයුතු කරනවා. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් අද ඒ සඳහා සහය ලබා දෙනවා.
රටේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකිරීම අපි ජනතාවට දුන්න ප්‍රධාන පොරොන්දුවක්. ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. මෙහිදී ගෝලීය වෙළඳ අවස්ථා ප්‍රයෝජනයට ගන්න ශ්‍රී ලංකාව කටයුතු කරනවා. අපිට අවශ්‍යයි ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් කාර්යක්‍ෂම ආර්ථිකයක් කරන්න ඒ සඳහා අපිට නව ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භකර තිබෙනවා. ප්‍රධාන පක්ෂ ඒකාබද්ධව ගෙන යන යහපාලන  රජය යටතේ  ඒ සඳහා සහය දෙන්න අද චීනය, ඉන්දියාව, ජපානය වගේම ඔස්ට්‍රේලියාවත් එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තත්වයකට පත්වී තිබෙනවා. ඒ වගේම  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් දක්නට ලැබෙනවා. දකුණු ආසියාවේ හොඳම වෙළඳ නගරය ලෙස කොළඹ නගරය පත් වී තිබෙනවා මම හිතනවා අනාගත ශ්‍රී ලංකාව වඩාත් හොඳ රටක්  බවට පත්වෙයි කියලා.

t

o

p