ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂය නොමැතිව පලමු වරට රැස් වෙයි

March 22, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙන්ගේ සහභාගිත්වෙයන් තොරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී අද (22) රැස් වී ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් නොමැතිව රැස්වූයේ පළමු වරට බව එහි සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද රැස්වූයේ පළමුවරටය.
පළාත් සභාවලට පොලිස් බලතල පැවරීම පිළිබඳව මෙහෙයුම් කමිටුව අද සාකච්ඡා කළ බවද ඉහත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පළාත් පොලිසිය වගකිව යුත්තේ එම පළාතේ ප්‍රධාන ඇමතිවරයාටද නැතිනම් මධ්‍යම රජයේ පොලීසය භාර ඇමතිවරයාටද යන්න ගැන මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කළද අවසන් එකඟතාවයකින් තොරව කමිටු රැස්විම අවසන් වූ බවද මේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු රැස්විමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, අනුර කුමාර දිසානායක, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා එම්. ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගී වි සිට ඇත.

t

o

p