ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා අත්නොහරින්නැයි රවී ලෝක ආයෝජකයින්ගෙන් ඉල්ලයි

March 17, 2017

ශ්‍රී ලංකාව, එහි සියලු ජන කොටස් සහභාගී කරගෙන ආර්ථික සෞභාග්‍ය කරා ළඟාවීමේ කඩිනම් ප්‍රයත්නයක නියැලී සිටින මේ මොහොතේ, රට තුළ උත්පාදනය වන විවිධ ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලොව සියලු ආයෝජක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

හොංකොං හි, දෙවන වරට පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් මුදල් අමාත්‍යවරයා ඊයේ (16) මේ බව ප්‍රකාශ කර සිටියේ, දීර්ඝ නිශේධන කාලපරිච්ඡේදයකට පසු රට ප්‍රාණවත් ආර්ථීක පුනර්ජීවයක් කරා ගමන් කරමින් තිබෙන බැවින්, එය නොබෝ කලකින් මධ්‍ය ආදායම් ලබන රටක තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා කීය. එබඳු රටක උද්දීපනය වූ ආර්ථිකයක් තුළ පැන නැඟෙන ආයෝජන අවස්ථා අත්පත් කර ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉදිරිපත් වන ව්‍යාපාරිකයින් සඳහා විවිධ දිරිගැන්වීම් දැනටමත් ලබාදී ඇති බවයි.

“රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර” රාමුව තුළ දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද හෙතෙම පැවසීය.

සමුළුව අමතමින් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාරම්පරික කෘෂිකර්මාන්තය, වෙළෙඳ කෘෂිකර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු යොදා තිබීම හා ඒ තුළ ආයෝජකයින්ට විවිධ ආයෝජන අවස්ථා උදාවී ඇති බවයි.

එමෙන්ම, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නුදුරේදීම විවෘත කිරීමට කටයුතු යොදන බැවින් රටේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගෙන එහි ව්‍යාපාර ආරම්භ කර සාර්ක් කලාපයේ ජීවත්වන විශාල ජනගහනයට සැපයුම් ලබාදීම සඳහා වූ ආයෝජන සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකාව දැනට පවත්වාගෙන යන මෙම සංවර්ධන ව්‍යාපෘතිවල සාර්ථකත්වය තුළින් දැනට කලාපයේ පවතින වාණිජ නගර වන ඩුබායි හා හොංකොං තත්ත්වයට පත්වීමට අපේක්ෂා කෙරේ.

ලෝකයේ බොහෝ සංචාරකයින් තම නිවාඩු ගතකිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නා අතර ඒ තුළින් විශාල ව්‍යාපාරික අවස්ථා උදාකරගැනීමට හැකියාව තිබේ. මෙලෙස පැමිණෙන ආයෝජකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් වන අධිවේගී මාර්ග, මහනගර, ප්‍රාදේශීය නගර, දුම්රිය හා අනෙකුත් ප්‍රවාහන පහසුකම් හා කොළඹ නගරය සමුද්‍ර ගමනාගමන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව දැනට ආසියාවේ පවත්නා ව්‍යාපාරික කටයුතු උදෙසා ඉතාම සාමකාමී රට බවට පත්ව ඇති බවත්, මෙම ශතවර්ෂය ආසියාවේ ශත වර්ෂය බවට ලොව පිළිගෙන ඇති මතය තහවුරු කිරීමට මෙරට පවත්නා ආයෝජන වටාපිටාව පිටුවහලක් වනු ඇත.

අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසූවේ හොංකොං හිච් දර්ශක ආයතනය පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව එහි පැවති ඍනාත්මක මට්ටමෙන් (‘බී+’) ධනාත්මක තත්ත්වය දක්වා උසස් මට්ටමට  පැමිණ ඇති බවයි. මෙසේ රටේ ආර්ථික දර්ශක ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ පැසසුමට ලක්වූයේ වත්මන් රජයේ මූල්‍ය කළමනාකරණය හා ආදායම් වැඩිකර ගැනීමේ හැකියාව ඉහළ තත්ත්වයකට පත් වීම නිසා බව ද රවී කරුණානායක මහතා පැවැසීය.

මෙම අවස්ථාවට  ලොව ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන නියෝජිතයෝ සහ ආයෝජකයෝ 200ක පමණ පිරිසක් සහභාගී සිටියහ.

t

o

p