රවී බන්දුලගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි

March 16, 2017

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බන්ධුල ගුණවර්ධන මහතා, මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස එම කොමිසම ලබා දුන් අවවාදය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකට එරෙහිව එවන ලද එන්තරවාසියට පිළිතුරු වශයෙන් මෙසේ රුපියල් බිලියන දෙකක (රුපියල් මිලියන 2000ක) වන්දියක් ඉල්ලා මුදල් අමාත්‍යවරයා ඊයේ (15) සිය නීතීඥවරුන් මාර්ගයෙන් බන්ධුල ගුණවර්ධන මහතාට එන්තරවාසි යවා තිබේ.

මාධ්‍යට ප්‍රකාශ කළ අදාළ කරුණු සමග පමණක් තමා එකගවන අතර ම බන්ධුල ගුණවර්ධන මහතා විසින් එවා ඇති එන්තරවාසියේ සඳහන් අනෙකුත් සියලු දැඩි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිය එන්තරවාසිය මගින් රවී කරුණානායක මහතා, බන්ධුල ගුණවර්ධන මහතාට දන්වා සිටියි. රවී කරුණානායක මහතාගේ නීතීඥයන් මගින් බන්ධුල ගුණවර්ධන මහතා වෙත යවන ලද එන්තරවාසියෙහි තව දුරටත් සඳහන් කර ඇත්තේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම ඉදිරියට, බන්ධුල ගුණවර්ධන මහතා කැඳවුයේ කුමන අරමුණක් සඳහා දැයි සහ ඔහු දෙන ලද සාක්ෂිවල අඩංගු කරුණු මොනවා දැයි අමාත්‍ය රවී කරුණානායක මහතා තුළ පූර්ව දැනුවත් බවක් නොතිබූ බවයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවට බන්ධුල ගුණවර්ධන මහතා කොමිසම ඉදිරියේ පිළිගත් බවත්, එවැනි සාවද්‍ය ප්‍රකාශ මින් ඉදිරියට සිදු නොකරන  ලෙස, එම කොමිසම ඔහුට අවවාද කළ බවට, රවී කරුණානායක මහතා දැනුවත් වූයේ, එම තොරතුරු ජනමාධ්‍යවල පළවීමෙන් පසුව බවත් එන්තරවාසියේ සඳහන් වේ. කෙසේ වුවත් මෙම සිදු වීමට අදාළව රවී කරුණානායක මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශවල, බන්ධුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කිසිදු අපහාසාත්මක හෝ ද්වේශසහගත ප්‍රකාශයක් සිදු නොකර ඇති බව එම එන්තරවාසියේ සඳහන් වේ. ඒ අනුව බන්ධුල ගුණවර්ධන මහතා, රවී කරුණානායක මහතාට විරුද්ධව රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලන්නේ නම්, ඊට එරෙහිව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව රවී කරුණානායක මහතාගේ නීතීඥයන් විසින් බන්ධුල ගුණවර්ධන මහතා වෙත යවන ලද එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් වේ.

t

o

p