පාඩු ලබන රාජ්‍ය ආයතන 200කින් 150ක් ලාභ ලබන තත්වයට පත් කළා

March 15, 2017

2015 දී රට භාර ගන්නා අවස්ථාවේ 200කට අධික පාඩු ලැබූ රාජ්‍ය ආයතනවලින් හතරෙන් තුනක් මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. දේශපානිකකරණය නිසා රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් ව තිබුණ යුගයක් පැවැතිබ බවත්, යහපාලන රජය යටතේ එම අවධානමෙන් රාජ්‍ය ආයතන නිදහස් කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කියා සිටියි. රජය සතු ආයතන 403කින් 200කට අධික සංඛ්‍යාවක් 2015 ජනවාරි මස 8 වැනිදා වන විට පාඩු ලබන තත්ත්වයේ පැවැතුණත්, මේ වන විට යහපාලන රජයේ විධිමත් ­ආර්ථික සැලසුම් හේතුවෙන් එම සංඛ්‍යාව 50 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නාස්තිය සහ දූෂණය තව දුරටත් අවම කරමින් මෙම පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය ආයතන 5ක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සාමූහික අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම වෙනුවෙන් අද (15) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයක දී ය.

ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන  ආයතන හා මුදල් අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම් අත්සන් තැබිණි. උපාය මාර්ගික වශයෙන් වැදගත්කමක් ඇති රජය සතු ව්‍යාපාර, මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දක්වන දායකත්වය වර්ධනය කරමින් රටේ ආර්ථික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම සාමූහික අවබෝධතා ගිවිසුම් ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇත.

වැඩි දියුණු කරන ලද සාමූහික ක්‍රියාමාර්ග, නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද, ශක්තිමත් හා විචක්ෂණ මූල්‍ය කළමනාකරණය, තරඟකාරිත්වය සඳහා මුහුණ දීම, ජාත්‍යන්තර විශිෂ්ට අත්දැකීම් දේශීය ආයතන විසින් භාවිතා කිරීම, මහජන වගවීම හා ඵලදායී මානව සම්පත් කළමනාකරණය තුළින් රජය සතු ව්‍යාපාරවල ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් ඒවායේ මෙහෙයුම් හා මූල්‍ය ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා පෙළඹවීමත්, ඒ සඳහා පහසුකම් සැපයීමත් මෙම අවබෝධතා ගිවිසුම්වල මූලික අරමුණ වේ.

උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා –

“අපි මේ සාමූහික ගිවිසුම් සඳහා රටට සුවිශේෂී දායකත්වයක් දක්වන ආයතන පහක් තෝර ගත්තා. මේව ඒකාධිකාරයක් තියෙන ආයතන. කිසි දෙයක් කළේ නැතත් මේ ආයතන ලාභ ලබන්න ඕනෙ. නමුත් අනවශ්‍ය දේශපාලනකරණය නිසා මේ හැම ආයතනයක් ම වගේ අලාභ ලබන්න පටන් ගත්තා.

මේ අත්සන් තැබීම කාගෙවත් බලහත්කාරයක් මත සිදු වෙන දෙයක් නෙවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ ම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්ම තුළින් රට ඉදිරියට ගමන් කිරීම සඳහා ජනතාව සතු බර අඩු කිරීමට, අපි ගත්ත පියවරක් තමයි මේ. ” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒම මුදල් අමාත්‍යාංශයට පමණක් තනිව කළ හැක්කක් නොවන බවයි. ඒ සඳහා සෙසු අමාත්‍යවරුන් සේම නිලධාරීන් ද කැප විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා සිටියේ විනිවිධභාවයෙන් යුතුව ආයතන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙම ගිවිසුම් මගින් මහත් පිටිවහලක් ලැබෙන බවයි. ඇතැම් රාජ්‍ය ආයතන අද ලාභ ලබන තත්ත්වයේ පැවැතිය ද ඉදිරියේ දී ඒවාට ඇති විය හැකි තත්ත්වන් සමාලෝචනයක් සේම ඒවාට පූර්ව විසඳුම් ද මෙමගින් සකස් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සමග මෙම සාමූහික ගිවිසුම් අත්සන් තැබීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති  ඩබ්ලියු.ඩී.ඒ.එස්. විජයපාල, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත්චන්ද්‍රසිරි විතාන, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, වරාය අධිකාරියේ වැඩබලන සභාපති ඩබ්ලියු.එල්. ප්‍රසන්න පෙරේරා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එන්. සෝමවීර, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එස්.එස්. එදිරිවීර, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එස්. හෙට්ටිආරච්චි සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති  මහාචාර්ය මෝනිස් ගුණවර්ධන යන මහත්වරු එක් වූහ.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් වන චන්ද්‍රා ඒකනායක මෙනවිය සහ ඒ.ආර්.දේශප්‍රිය මහතා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

t

o

p