උපරිම සිල්ලර මිලට වඩා රු.3ක් අඩුවෙන් හාල් ලංකා සතොසේ තියෙනවා

March 2, 2017

සහල් සදහා නියමකල උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මගින් සහල් විකුණන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

දේශීය හා ආනයනික සහල් තොග අවශ්‍ය තරම් සතොස ගබඩාවල ඇති බැවින් පාරිභෝගිකයින්ගේ පහසුව තකා මෙම පියවර ගත් බව ඇමතිවරයා  වැඩිදුරටත් පවසයි. ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ලෙස නියම කර ඇති දේශීය සුදු රතු කැකුළු හා සුදු කැකුළු සහල් කිලෝවක් රු. 75 කට මිලදී ගත හැකි බවත්, ඇතැම් සිල්ලර වෙළෙඳුන් දේශීය හා ආනයනික සහල් උපරීම සිල්ලර මිලට විකිණිය නොහැකි බවට මැසිවිලි නගන බැවින් ඔවුන් සඳහා අවශ්‍ය සහල් තොග සතොස මගින් සැපයිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර, ලක් සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන්  මහතා සඳහන් කර සිටින්නේ සතොස සතුව ප්‍රමාණවත් සහල් තොග ඇති බැවින් ජංගම රථ යොදවා නගර හා ජනාකීර්ණ ප්‍රදේශවල සහල් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

ළඟ එන සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ සහල් මිල ඉහළ යා හැකි බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගියද රට තුළ කිසිසේත්ම සහල් හිඟයක් ඇති නොවන බවත්, ඉදිරියේදී සහල්වල මිල අඩුවීමක් මිස වැඩිවීමක් නොවන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

t

o

p