මිනිස් ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවට පූර්ණ සහය – අගමැති

February 16, 2017

නීතිවිරෝධි මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ඉදිරියටත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී ඊයේ (15) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හා ඕස්ට්‍රේලියානු ආගමන සහ දේශ සීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටින් මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය. ඊයේ පෙරවරුවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී මෙම සාකච්ඡාව අමාත්‍ය මණ්ඩල කාර්යාල සංකිර්ණයේ පැවැත්විණි.
ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව ඇතුළු වීමට තැත් දරන සංක්‍රමණිකයන් හා මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාව ලබා දුන් සහය අතිශය අගය කරන බව පීටර් ඩටින් මහතා ප්‍රකාශ කළේය.
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා දෙන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය අනාගතයේදී තව තවත් ඉහළ නැංවීමට ක්‍රියා කරන බව ඕස්ට්‍රේලියාවේ ආගමන සහ දේශ සීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටින් මහතා මෙහිදී පැවැසීය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරියටත් මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඩටින් මහතා වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ආරාධනාවක් ද පිරිනැමීය.
දෙරටේ සංචාරක සංක්‍රමණය ඉහළ නැංවීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ප්‍රතිශතය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව 2 වන ස්ථානයේ සිටින බවද, සංඛ්‍යාත්මක අතින් 7 වන ස්ථානයේ සිටින බවද අවධාරණය කෙරිණි. මේ තත්ත්වය තව තවත් ඉහළ නැංවීම උදෙසා ගත යුතු ක්‍රියා මාර්ග කවරේද යන්න පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
විශේෂ ක්‍ෂේත්‍රයන් ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගත සැලසුම් සකස් කෙරෙන බව ශ්‍රී ලංකා දූත පිරිස මෙහිදී පෙන්වා  දුන්හ.
වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක, මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක චන්දන වීරසේන, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක තුෂාර වන්නිආරච්චිය යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවන්ට එක්වූහ.

t

o

p