මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාව වැරදියි නව මහ බැංකු අධිපතිවරයා වාර්ථාව ප්‍රතික්ෂේප කරයි

February 12, 2017

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ වහාම අලුතින් පත්ව ආ අධිපතිවරයා නොමඟ යවමින් මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි පැවසෙන අභ්‍යන්තර විගණව වාර්තාව නව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව මහ බැංකුවේ හිටපු නිලධාරී ජගත් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් පැවසීය.

ඒ මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි කියන අභ්‍යන්තර විගණන වාර්තාවක් විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට පත්විමත් සමඟම එළිදැක්වූ මාධ්‍ය හරඹය සහ එයට එක් වූ තවත් නොයෙකුත් අටුවා ටීකා අපි පසුගිය දින කිහිපයේම අත් වින්දෙමු. ඊනියා විගණන වාර්තාවට පසුබිම් වූ සත්‍ය කතාව මෙසේ ය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ වහාම ඔහුට විරුද්ධව කල්ලි ගැසී සිටි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ කිහිප දෙනෙක් අලූතින් පත්ව ආ අධිපතිවරයාව නොමඟ යවමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි කාලයේ ඔහු කළේ යයි කියන විය හියදම් ගැන අභ්‍යන්තර විගණනයක් ආරම්භ කරනු ලැබූහ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් හිටපු අධිපතිවරයා නිල වශයෙන් ඔහුට හිමි හා ඔහු වෙනුවෙන් දැරිය යුතු විය හියදම් මහ බැංකුවේ ප්‍රතිපත්ති හා පටිපාටින් උල්ලංඝනය කරමින් කළ බව සනාථ කරමින් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර වූ ඊනියා විගණන වාර්තාව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය විසින්ම පිළියෙල කරන ලද්දකි.

විගණන වාර්තාව වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පසුව අනිකුත් දෙපාර්තමේන්තු ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව එය සාවද්‍ය වාර්තාවක් බවට ඔප්පු වූ අතර වත්මන් අධිපතිවරයා විසින් එකී වාර්තාව අනුමත කිරිම පවා ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව අදාළ වාර්තාව කිසිදු අනුමැතියකින් තොරවූ සාවද්‍ය ලිපි ගොනුවක් ලෙසට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය භාරයේම පැවතුනි.

පසුගිය වකවානුවේ මාධ්‍ය මගින් අනාවරණය කළ ආකාරයට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බරපතල මුදල් වංචා කිහිපයකටම වගකිව යුතු තැනැත්තියකි. මහ බැංකුව වෙතින් ව්‍යාපාරික පන්තියේ විදේශ සංචාර සඳහා මුදල් ගෙන සාමාන්‍ය ගුවන් ගමන් යමින් ලක්ෂ ගණනක් මහ බැංකුවට වංචා කිරිම, සේවක අර්ථ සාධක අරමුදලේ මහ බැංකුවේ අධිකාරිත්වය දරමින් සිටි කාලයේ සේවක අර්ථ සාධක අරමුදල සිය සහෝදරයාගේ සමාගමේ අයෝජනය කර රුපියල් බිලියන ගණනක් රජයේ මුදල් වංචා කිරිම ආදී බරපතල චෝදනා ඒ අතර පවතී.

ඉහත වංචා සම්බන්ධව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුව වූ කැළල වසා ගැනිම සඳහා අවධානය වෙනතකට යොමු කිරිමේ අරමුණින් විගණන අධ්‍යක්ෂවරිය සාවද්‍ය අභ්‍යන්තර විගණන වාර්තාව මාධ්‍යයට මුදා හැරිමට අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහි මහ බැංකුවේ සිටින නිලධාරින් කිහිප දෙනෙකුද මේ කටයුත්ත සඳහා යොදා ගැණුනු බව සියලූ දෙනාම හොදින් දන්නා කරුණකි.

තමන්ගේ සැගවුණු පටු පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනිමට අන්ත දූෂිත නිලධාරින් විසින් කරන්නා වූ මෙවන් ද්වේශ සහගත ක්‍රියා හේතුවෙන් වනුයේ පවත්නා යහ පාලන රජය අපහසුතාවයට පත්වීම ය. එවන් ක්‍රියා වලක්වා ඒවාට වරදකරුවන් සොයා නිසි ක්‍රියා මාර්ග ගැනිම වත්මන් අධිපතිවරයා විසින් කළ යුත්තකි.

ජගත් කාරියවසම්
(විශ්‍රාමික නිලධාරි) ශ්‍රී ලංකා මහ බැංකුව

t

o

p