අගමැති රනිල් ඕස්ට්‍රේලියාවට

February 12, 2017

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සංචාරයක නිරත වන පළමු අවස්ථාව සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (13) සවස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණිමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි. රාජ්‍ය නායකයන් මීට පෙර ඕස්ට්‍රේලියාවේ සංචාරය කර තිබුණද ද්විපාර්ශවික සාච්ඡා සඳහා අගමැතිවරයෙකු පැමිණෙන්නේ පළමු වතාවටය.
ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු එරට අමාත්‍යවරුන් ගණනාවක් සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හිදී පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවකට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මේ සංචාරය අතරතුරදී අත්සන් තැබෙනු ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ ඇමති විජිත් විජිතමුණි සොයිසා, වරාය සහ නාවික ඇමති අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වීමට නියමිතය.

t

o

p