වසර 3ක් තුළ රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි 11,000යි

February 8, 2017

පසුගිය 2013, 2014, 2015 වසර තුනක කාලයක් තුළ රාජ්‍ය ආයතන 15ක රුපියල් කෝටි 11000ක පාඩුවක් සිදුව ඇතිබව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය.

කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වල තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේය.

2016 වසරේ මැයි 01 දා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ දී අදාළ ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශන සිදුකළ අතර එම විමර්ශන අනුව අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වරාය අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 15ක් පිළිබඳව මෙම කෝප් වාර්තා සකස් කර තිබේ.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන තිස්හත් දහසක්ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව  රුපියල් මිලියන 2918ක්ද පාඩු ලබා ඇතිබව සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

එමෙන්ම සතොස, මාර්ග සංවර්ධන අධිකාරිය,ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා පාපනදු සම්මේලනය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, මඟනැඟුම, කුරුණෑගල වැවිලි සමාගම, සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය යන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශන සිදුකර ඇත.

විමර්ශන වාර්තාව ඉදිරිපත් කළ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

2016 මැයි 01 සිට අගෝස්තු 2016 අගෝස්තු 20 දක්වා කාලසීමාව තුළ විමර්ශනය ට ලක්වූ ආයතන 15කට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් කරතිබෙනවා.

මෙම ආයතන අපේ ආර්ථිකයට කෙරෙන බලපෑම කමිටුවේ විශේෂ අවධානයට යොමුඋනා. මෙම ආයතන වලින් පාඩු ලබනවා කියා කියනවා වෙනුවට නාස්තිකාර අනර්ථකාරී ආර්තික වශයෙන් අවැදගත් වන ව්‍යාපෘති ගණනාවක් මෙම ආයතන හරහා ක්‍රියාත්මක වි ඇතිබව කීම සාධාරණයි.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය ට අද අයිතිකාරයෙක් නැති තැනට පත්වෙලා. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන ව්‍යාපෘති සඳහා මිලියන 57000ක් අනර්ථකාරි ලෙස වැයකර තිබෙනවා. නෙළුම් කුළුණට අද අත්වී ඇති ඉරණම මොකක්ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඩොලර් මිලියන ගණනින් මුදල් ලැබී තිබෙනවා. යුරෝ මිලියන ගණන් මුදල් ලැබී තිබෙනවා. එම මුදල් යොදවා‍ ඇති ආකාකරය සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 2918ක් ද හම්බන්තොට වරාය රුපියල් මිලියන 37000ක්ද පාඩු ලබා තිබෙනවා. කෝප් කමිටුවේ විමර්ශන අනුව මෙම සියළුම ආයතන වල පාඩුව රුපියල් කෝටි 11000ක්. මෙම වාර්තාව සම්බන්ධයෙන් සියළුම මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකරන අතර මේවා සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

t

o

p