වනඅලි ප්‍රහාර වලින් මිය යන පුද්ගලයන්ට දෙන වන්දි මුදල ලක්ෂ 2 සිට 5 දක්වා ඉහළට

February 6, 2017

වනඅලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ යෝජනාව තිරසර සංවර්ධන හා වනජීවී  අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මොණරාගල ප්‍රදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.

“මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වන අලි තර්ජනය වැළැක්වීම සඳහා පසුගිය කාලය තුළදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙනවා. ඒ සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ආරක්ෂිත විදුලිවැටවල් නිසිපරිදි ඉදිකිරීම දැන් ක්‍රියාත්මක වෙනවා. අබලන්ව තිබෙන ආරක්ෂිත විදුලිවැටවල් කඩිනමින් අලුත්වැඩියා කිරීම, සත්ව මිනිස් සංහිඳියාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇතුළු වැඩසටහන් ඊට ඇතුළත් වෙනවා.

වන අලි ප්‍රහාරවලින් මියයන කෙනෙකු වෙනුවෙන් මීට පෙර ලබාදුන් රුපියල් ලක්ෂයක වන්දිය රුපියල් ලක්ෂ 2 දක්වා වැඩිකිරීමට පියවර ගැනීමට පසුගිය වසරේදී හැකිවුණා. එම මුදල රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු විගස එය ක්‍රියාත්මක කරනවා.

වන අලි ප්‍රහාරයන් හේතුවෙන් ජීවිත හානි සිදුවූ විට නිවාස වලට හානි සිදුවී විට වන්දි ලබාදීමේ කටයුතුවලදී යම් ප්‍රමාදයන් සිදුවවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමතිතුමාගේත් මාගේත් විශේෂ අවධානය යොමු වුණා. වන්දි ලබාගැනීමේ කටයුතු පහසුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබාගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් එම වන්දි මුදල් ලබාගත හැකියි. ඒ සඳහා අදාළ පිරිස් දැනුවත් කිරීම සඳහා  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද උපදෙස් ලබාදී තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ දැනට වැඩ ආරම්භ කර තිබෙන ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුයි. අලුතින් වැඩ පටන්ගැනීමට නියමිත ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකිරීමේ කටයුතුද කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි” යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

මොණරාගල දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 53ක් දිග ආරක්ෂිත විදුලිවැටවල් මේ වන විට අළුත්වැඩියා කර අවසන් කර තිබේ. අළුතින් කිලෝමීටර් 73 ක් දිග ආරක්ෂිත විදුලිවැට වල් ඉදිකර ඇත. තවත් කිලෝ මීටර් 80 ක් දිගින් යුත් විදුලිවැටවල් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙම රැස්වීමට පැමිණි වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.

මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශවල තවත් කිලෝමීටර් 40 ක ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකරන ලෙසට ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී උපදෙස් ලබාදුන්නාය.

t

o

p