බදු ආදායම ඉහළ නංවා බදු බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි…

December 8, 2016

බදු ගෙවීම පැහැර හරින පිරිස නිසි ක්‍රමවේදයක් යටතේ හඳුනා ගෙන
බදු ක්‍රියාවලියට ඇතුළත් කර ගන්නවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. ඒ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලිමකට එක් වෙමිනි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (08) පෙරවරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. රජයට ආදායම් උපයා දෙන ප්‍රධාන ස්ථානයක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු වන ආකාරය සහ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහි දී සොයා බැලීය.

මූලස්ථානයේ වැදගත් අංශ රැසකට ගොස් සේවක සේවිකාවන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට ඇති ගැටලු අමාත්‍යවරයා මෙහි දී විමසා බැලීය. විශේෂයෙන් තාක්ෂණය භාවිත කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල තුළ ඇති පහසුකම්, සේවක සේවිකාවන්ට ඒ සඳහා ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි.

1944 ඍජු දුරකතන අංකය මගින් සම්බන්ධ විය හැකි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය තව දුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඇතැමුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ බිය මුසු හැගීමකින් සිටින බවත්, එම මතය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා එහි දී පැවැසීය. දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා කියා සිටියේ බදු ගෙවීම පැහැර හරින පාර්ශ්වයන් නිසි ක්‍රමවේදයක් යටතේ හඳුනාගැනීම සඳහා කටයුතු කරන බවයි.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා –

“අපේ එක ම අරමුණ වන්නේ ජනතාවගේ බදු බර අඩු කිරීමයි. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රජයට ආදායම් උපයා දෙන ආයතන අපි ශක්තිමත් කළ යුතුයි. නිරන්තරයෙන් ම මෙම ආයතන පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

අවුරුදු ගානක් මේ රටේ පැවැති ආණ්ඩු රටට කරපු දේවල් අපි දන්නවා. හම්බන්තොට වරායේ වසරක පාඩුව රුපියල් මිලියන 37,800යි. ඒ මුදල් දෙන්න වෙලා තියෙන්නෙත් අපට කොළඹ වරායේ ආදායමෙන්. මේ වගේ බරපතල වැරැදි අපි නිවැරැදි කරගෙන යනකොට ඇතැම් පිරිස් අපෙන් ප්‍රශ්න කරනවා ඒ ගැන. අපි ජනතාවට කියන්න ඕනෙ මේ කිසිම දෙයක් ඔබේ උර මත පටවන්න අපි සූදානම් නැහැ කියල. ” යැයි ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

t

o

p