ආණ්ඩුවේ ඉදිරි ගමන හා ආර්ථික පියවර

November 25, 2016

එක්සත් ජාතික පක්ෂයට හැම විටම තිබු විශ්වාසය වූයේ රට කළමනාකරය කිරිමේ හැකියාව වැඩි වශයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවය. එම විශ්වාසය ගොඩ නැගුවේ 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව ඇති කළ ආර්ථික පෙරලියයි. 1977 ට පෙර තිබු දේශීය ආර්ථික වැඩපිළිවෙල හේතුවෙන් අපට රටතුළ බොහෝ නිෂ්පාදන ඇතිකර ගැනිමට සිදුවිය. ඒ වෙනුවෙන් යම් යම් සිමාවන් ඇති කිරිමට සිදුවිය.

එහි පරමාර්ථය වූයේ රටේ දේශිය නිෂ්පාදනය ඉහල දමා ගැනිම වුවද මහජනතාව එයින් යම් පිඩාවකට පත් වූ බව සත්‍යයකි. මේ නිසාම 1977 ආණ්ඩු පෙරළියකට ප්‍රධාන සාධකය බවට මෙය පත්විය. කෙසේවුවද 1977 ආණ්ඩුව ඇතිකළ වෙළෙදපොල (විවෘත) ආර්ථිකය රට කනපිට හරවන තත්ත්වයකට පත්විය.

දිගුකලකට පසුව බැඳ තිබු ආර්ථික බැම්ම ලිහිම නිසා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් විය. ලෝකය ගමන් කළ වෙළෙඳපොල හා අන්තර්ජාතික ගණුදෙනුවලට අප රටද ඉදිරියට අවේය. දකුණු ආසියාවේ විවෘත ආර්ථිකයට අත තැබු ප්‍රථම රට වශයෙන් අප ආර්ථිකය විශාල ප්‍රගමනයකට මාර්ගය විවෘත වූ බව අපට පෙනුනි.

මේ නිසා ආයෝජන ඉහළ ගියේය. බඩුභාණ්ඩ හිඟය තුරන් විය. ආහාර ද්‍රව්‍ය හිඟය ද තුරන් විය. ජන ජිවිතය ද වෙනස් විය. එහෙත් පසුකාලිනව අප ලබාගත් එම ආර්ථික වාසිය අපට අහිමි වූයේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍යතාවයට අනුව වැඩි දියුණු කිරිමට ආණ්ඩුව පියවර නොගැනම නිසාය. අප තවමත් අපගේ ආර්ථිකය හසුරුවන්නේ කිසියම් ඉලක්කයකට නොවන බව වැටහෙන්නේ අය වැය දෙස බැලිමේදීය.

මෑත කාලයේ අය වැය වාර්තාවන්ද දේශපාලන ලියවිල්ලක් බවට පත් වී තිබිම මෙයට හේතුවයි. විශේෂයෙන්ම අය වැය මගින් ක්‍රියාත්මක කළ යුතු බොහෝ දේ දැන් ගැසට් මගින් සිදුකර අය වැය වාර්තාව හෑල්ලූකර තිබෙන බවද කාටත් රහසක් නොවේ.

මෑත කාලයේ අය වැය යනු ඉදිරි කාලයේ රටේ ආදායම හා වියදම සාරාංශගත කරන මෙන්ම ආයෝජනයන් පිළිබඳවද පුරෝකථනයන් නොවේ. වරින්වර අය වැය අතරතුරද පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරිම හරහා වියදම් වැඩිකර ගැනිම හා ගැසට් මගින් බදු වැඩිකිරිම හේතුවෙන් රටේ මූල්‍ය පාලනයද බිඳ වැටි ඇත.

රටක පැවැත්ම හා ආර්ථික ගමන සැලසුම් සහගතව යා යුතුය. දියුණු බොහෝ රටවල් එම ගමන ගොස් ඇත්තේ සැලසුම් සහගතව මෙන්ම මහා මුල්‍ය විනයක් සහ කැපවිමක් ඇතිවය. එහෙත් එය අද අපේ රටේ සිදු නොවිම බරපතල ප්‍රශ්නයකි.

වත්මන් ආණ්ඩුවේ තෙවන අය වැය ද දැන් ඉදිරිපත් කර තිබේ. මෙම අය වැය ද හුදු දේශපාලන ලියවිල්ලක් මිස ආර්ථික කළමනාකරණය හෝ ආර්ථික සැලසුම් නිසි ලෙස සැලසුම් කළ ආකාරයක් පැහැදිලි නොපෙනේ. අය වැය පරතරය පියවා ගැනිමට දේශිය සහ විදේශිය ණය පදනම් කර ගන්නවාසේම රටක ඇති ප්‍රාග්ධන වත්කම් විකිණිමද දැන් ආරම්භ කර තිබෙන බවද පෙනේ.

උදාහරණ ලෙස හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොල චින සමාගම් දෙකකට විකිණිමට අය වැය මගින්ම යෝජනා කිරිම පුදුම සහගතය. ඕනෑම රටක වරාය, ගුවන් තොටුපොල රටක ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ලෙස සලකනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාවේ අපි එම ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමට හදන්නේ අය වැය පියවා ගැනිමටය.

එය කොපමණ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් දැයි අපට දැන් නොපෙනුනද අනාගතය එය වැරදි බව නොවරදවාම කියනු ඇත.

පසුගිය අය වැය යෝජනා බොහෝමයක් ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා අනුව පෙනේ. සිනි, පරිප්පු, හැල්මැස්සන් මිල අඩුකර ජිවන බර අඩුකලා යැයි ආණ්ඩුව පැවසීම කොයි තරම් මහජන රැවටිමක් දැයි ආණ්ඩුව පැවසීම කොයිතරම් මහජන රැවටිමක් දැයි ආණ්ඩුව කල්පනා කළ යුතුය.

රටක ජිවනබර සැහැල්ලූ කිරිම නම් එක් අතකින් ඒක පුද්ගල ආදායම ඉහළ යාමට අවශ්‍ය පියවර ගත යුතුයි. එයට නිෂ්පාදනය ඉහළ දැමීම වැදගත්ය. ආණ්ඩුව විසින් සිදුකරන අනවශ්‍ය වියදම් සීමා කිරිම මගින් ජනතාව පිට පටවනු ලබන බදු බර අඩු කළ හැක.

හැමදාම පසුගිය ආණ්ඩුවල ණය පිළිබඳව කථා කිරිමෙන් ප්‍රතිඵලයක් නොමැත. වත්මන් ආණ්ඩුවද දිගින් දිගටම ණය ගනිමින් සිටියි. එහි බරඳ පැටවෙන්නේ ජනතාවටය. ආණ්ඩුව යන්නේ එදිනෙදා ගමනකි. එහි ආර්ථික පැවැත්මක් ඇති බව අපට නොතේරේ.

තිස්ස අත්තනායක

t

o

p