කොළඹ මාර්ග තදබදයට විසදුම් සෙවිම

November 14, 2016

මෑත කාලයේ කොළඹනගරය තුළ විශාල වාහන තදබදයක් ඇති වුන බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ මාර්ගයේ ධාවනයට එක්වන වාහන ප්‍රසාරණයට අනුව මාර්ග පුළුල් නොවිම හා පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති දුර්වලතාවයයි.

විශේෂයෙන්ම රාජකාරි වේලාවන් ආරම්භයේදි හා අවසානයේදි කොළඹනගරයේ පැය ගණනාවක ඇති වන මාර්ග තදබදය දෛනික ජන ජිවිතයට මහත් බාධාවක් බව පැහැදිලිවම සඳහන් කළ යුතුය. මෙහිදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය සුවිශේෂිත්වයක් ගනී.

ලෝකයේ බොහෝ රටවල් මාර්ග තදබදය සඳහා පිලියම් යෙදවූයේ දිර්ඝකාලීන වැඩපිළිවෙලක් ලෙසය. මෑත කාලයේ අධික ලෙස මාර්ග තදබදයකට ලක්ව තිබු බැංකොක් නගරය මෙන්ම සිංගප්පූරුව වැනි රටවලද මාර්ග තදබදය සඳහා යෙදු පිලියම් අප සොයා බැලිය යුතුය.

කාර්ය බහුලත්වය අතින් ඉහලම ස්ථානයක් ගන්නා ටෝකියෝ, ලන්ඩන්, නිව්යෝර්ක් වැනි නගර තදබදය අඩු කිරිම සඳහා යොදා ගන්නා ප්‍රධානම උපක්‍රම අතර පොදු ප්‍රවාහන පද්ධති වැඩි දියුණු කිරිම ප්‍රමුඛතාවයක් ගෙන තිබේ.
අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති බරපතල අඩුපාඩුකම් හා දුර්වලතා නිසා ඒ ගැන විශ්වාසය යම්තාක් දුරකට පළුදු වී ඇති බව අප පිළිගත යුතුය.

ලෝකයේ සමහර රටවල් නාගරික ප්‍රවාහනය සඳහා තවමත් ට්‍රෑම්ප් කාර් යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. ඊට උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය හැදින්විය හැක. එහි ක්‍රියාත්මක කෙරෙන ට්‍රෑම්ප් කාර් ප්‍රවාහන වැඩපිළිවෙල හේතු කර ගෙන නගරයට වාහන ඇතුළුවිම හා වාහන තැනින් තැන නවතා තබා ගැනිමේ ගැටලූ බොහෝ දුරට අවම කර ගෙන තිබේ.

ලංකාවේද කොළඹ නගරයේ ඉංග්‍රීසින්ගේ පාලන කාලයේ ට්‍රෑම්ප් කාර් ධාවනය වී ඇති අතර පසු කාලයක ඒවා ගලවා ඉවත් කර ඇති බව කොටුව ප්‍රදේශයේ ඇති නටඹුන්වලින් පෙනේ.

මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරිම සංවර්ධන උපාය මාර්ගවල පළමුවන කරුණයි. ඒ අනුව අධිවේගි මාර්ග ඉදිකිරිම හරහා සමස්ත මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරිම සිදුවේ. අධිවේගි මාර්ග, නාගරික මාර්ග හා ක්‍රමානුකූලව සම්බන්ධ කිරිම හරහා පාරවල්වල ඇති තදබදය විශාල ලෙස වලක්වා ගත හැක.

කොළඹ නගරයට නම් ගුවන් මාර්ග පද්ධතියක අවශ්‍යතාවය දැන් දැන් දැනෙමින් පවති. නගරය හා අධිවේගි මාර්ග සම්බන්ධ කෙරෙන එවැනි ගුවන් මාර්ග හරහා නගරයක දර්ශනීයත්වයද ඉහල යන බව සඳහන් කළ යුතුය. මේ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන බව සැබෑය. නමුත් පියවරෙන් පියවර මේ සඳහා අප අවතීර්ණ නොවුනහොත් තව දශකයකින් පමණ විශාල අසීරුතාවයකට අපට මුහුණ දීමට සිදුවන බව පැහැදිලිය.

කොළඹ නගරයේ වාහන තදබදය ඉහළින්ම පෙනෙන මාර්ග ගණනාවක් තිබේ. ඒ බත්තරමුල්ල, බෙරැල්ල, පාර්ලිමේන්තු මාර්ගය, කොළඹ බෞද්ධාලෝක මාවත, නුගේගොඩ, මහරගම, කොළඹට ඇතුළු වන කැළණිය මාර්ගය හා සංඝරාජ මාවත යන මාර්ගයන්ය. මෙම මාර්ග නිරන්තරයෙන්ම අධික තඳබදයට හසුවේ.

කොළඹට පෞද්ගලික වාහන ඇතුළත් කිරිම සීමා කිරිම සඳහා වැඩපිළිවෙලක් ඇති කිරිමට කාලය උදාවී ඇත. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධානම උපක්‍රමය වන්නේ අභ්‍යන්තර පොදු ප්‍රවාහන පද්ධතියක් නගරාන්තරව ක්‍රියාත්මක කරවීමයි.

විශේෂයෙන්ම ලෝකයේ දියුණු නගරවල අනුගමනය කරන මොනෝ රේල් සහ ඒ සමාන පොදු ප්‍රවාහන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තදින් දැනේ. ඒ සඳහා පෞද්ගලික අංශයේ සහයද ලබා ගැනිම අත්‍යාවශ්‍යය. අපගේ දුම්රිය සේවාව මේ වන විට වැටි ඇති තත්ත්වය අවාසනාවන්තය.

දුම්රිය ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කරන්නේ නම් බොහෝ ප්‍රවාහන ප්‍රශ්නවලට විසදුම් ලබා ගත හැක. ඉංග්‍රිසින්ගේ පාලන සමයේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක් වශයෙන් දුම්රිය ආරම්භ කළද අද වන විට එම සේවාව නිසි ලෙස නඩත්තු කිරිම හෝ සංවර්ධනය කිරිම සිදු නොවී ඇති බව පෙනේ.

විශේෂයෙන්ම කොළඹ නගරය අපගේ ප්‍රවාහනම වාණිජ නගරයයි. එහි ඇති කාර්යාල පද්ධතිය නගරයෙන් ක්‍රමානුකූලව ඉවත් කිරිම අවශ්‍යම කරුණකි. මෙම පියවරවල් එකින් එක සිදුකලහොත් නාගරික රථවාහන තදබදයෙන් තාවකාලිකව හෝ මිදිමට අපට හැකි වනු ඇත.

තිස්ස අත්තනායක

t

o

p