සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන සංවර්ධනාත්මක අයවැයක් හෙට ඉදිරිපත් කරනවා

November 9, 2016

සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත, සංවර්ධනාත්මක අයවැයක්, හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 

අවසන් පැය කිහිපය තුළ අයවැය සකස් කිරීමේ නිරත වී සිටින මුදල් අමාත්‍යවරයා, අවධාරණය කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැය තුළ මූලික අවධානය යොමුකොට ඇති බවයි.

2017 වසරේ අයවැය, සකස් කිරීමේ දී ජනතා අදහස් සඳහා ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, සමාජයේ සියලු ජන කොටස් නියෝජනය වන පරිදි, ඔවුන්ගේ අවශ්‍යතා හා යෝජනා, සැලකිල්ලට ගත් බවත්, අමාත්‍යවරයා කියා සිටී.  ඒ අතර ගොවි, ධීවර, කම්කරු, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියාලාභීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීයවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආගමික නායකයින් වැනි විශාල පරාසයක්, ඊට ඇතුළත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එසේ ම 2017 අයවැය සඳහා රටේ විවිධ පළාත් නියෝජනය වන පරිදි,  පොදු මහජනතාවගෙන් අදහස් හා යෝජනා දෙදහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක්, මුදල් අමාත්‍යාංශයට ලැබී තිබුණි.

හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ  70 වැනි අයවැයයි.  එමෙන්ම, යහපාලන රජයේ තෙවැනි අයවැයයි. “සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක් කරා…” යන්න එහි තේමාවයි.

 

මෙවර අයවැය මඟින්, තරුණ විරැකියාවට විසඳුම් ලැබෙන යෝජනා, ජීවන බර පහත හෙළීම සඳහා වන නව සැලසුම් මෙන් ම ආයෝජන ප්‍රවර්ධනය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි ඉහළ අවධානයක් යොමුකර ඇති බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ, උපදෙස් හා මගපෙන්වීම යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2017 අයවැය යෝජනාවලිය රට තුළ දුප්පත්කම අවසන් කිරීම සඳහා වන ශක්තිමත් ප්‍රවේශයක් ඇති කරන අතර ම දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම් මඟින් රටේ සමස්ත  අනාගත පරපුර ණය උගුලින් මුදවා ගැනීමේ, මහා ජාතික මෙහෙයුමක මුල් පියවර ද තැබෙනු ඇත.

Ravi Budget 2017 1

t

o

p