රජයේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජපානයෙන් යෙන් බිලියන 33ක ණය මුදලක්…

October 11, 2016

ඉදිරි වසර පහක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා  වන රජයේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් යෙන් මිලියන 33,137ක (රුපියල් මිලියන 46,622ක) ණය මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) පියවර ගෙන තිබේ. ඉන් යෙන් මිලියන 10,000ක මුදලක් ලබා දෙනු ලබන්නේ සංවර්ධන ප්‍රතිපත්තිමය ණය ලෙස ය. ඒ යටතේ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ කළමනාකාරීත්වය සහ පෞද්ගලික අංශයේ තරගකාරීත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කෙරේ.

මීට අමතරව අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ද යෙන් මිලියන 23,137ක (රුපියල් මිලියන 32,169ක) ණය මුදලක් ලබා දෙයි. උතුරු මැද පළාත තුළ පවතින වකුගඩු රෝගයට පිළියම් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාක්මක කෙරේ.  පදවිය, කැබැතිගොල්ලෑව, හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම ණය ලබා දීමට අදාළ හුවමාරු පත්‍ර සහ සංවර්ධන ප්‍රතිපත්තිමය ණය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් තැබීම 10 දා මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ජපාන රජය වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා ඊට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය ඊට අත්සන් තැබීය.

මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ උප සභාපති, හිඩෙටොෂි ඉරිගකි, ජපාන අග්‍රාමාත්‍ය උපදේශක හිරෝටෝ ඉසුමි, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ද එක් ව සිටියහ.

 

t

o

p