ප්‍රධාන ගණයේ අපරාධවල ඉහළ යාමක්

October 9, 2016

මෙම වසරේ ගත වූ කාලය තුළ ප්‍රධාන ගණයේ අපරාධ වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් අපරාධ විශ්ලේෂණ වාර්තාව පෙන්වාදෙයි.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ මෙම ප්‍රධාන අපරාධ වාර්තා වීම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දෛනිකව වාර්තා වන “ ඩී“ ගණයේ අපරාධ ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිඳීම්, කොල්ලකෑම් සහ සොරකම් යන කරුණු පහ මෙම ප්‍රධාන අපරාධ ලෙස සැලකිල්ලට ගනිමින් අදාළ වාර්තාව සකස් කර තිබේ.

ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ කාලය තුළ මෙම අපරාධ   6126  වාර්තා වී ඇති බව අපරාධ විශ්ලේෂණ වාර්තා පෙන්වාදෙයි.

කෙසේ වෙතත් 2015 වසරේ අදාළ කාලය තුළ මෙම සංඛ්‍යාව 5978ක් බව ද එම වාර්තාව සඳහන් කර තිබේ.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ප්‍රධාන අපරාධ 631ක් වාර්තා වී ඇති අතර 2015 වසරේ සැප්තැම්බර් මාසය තුළ වාර්තා වී ඇති ප්‍රධාන ගණයේ අපරාධ සංඛ්‍යාව 747ක් බව එම වාර්තා පෙන්වාදෙයි.

සැප්තැම්බර් මාසය තුළ මනුෂ්‍ය ඝාතන 45ක් වාර්තා වී ඇති අතර පොලිස් කොට්ඨාස 22කින් අදාළ ඝාතන වාර්තා වී ඇති බව අපරාධ විශ්ලේෂණ වාර්තාව සඳහන් කළේය.

වැඩිම මනුෂ්‍ය ඝාතන වාර්තා වී ඇත්තේ ගම්පහ පොලිස් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 7කි.

t

o

p