ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිමය ආදායම් මාර්ගයක් වන්නේ මැද පෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන අපගේ ශ්‍රමිකයන් අපට එවන මුදල් ය.
අතීතයේ අපගේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගය කුමක්දැයි අපගෙන් විමසු විට අප එකවරම කියන්නේ තේ, පොල්, රබර් යනුවෙනි. එහෙත් පසුගිය දශක දෙක තුළම අපගේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වී ඇත්තේ විදේශ රටවල සිට ශ්‍රමිකයන් එවන මුදල් බව මහ බැංකු වාර්තා සනාථ කරයි.
එම මුදල රුපියල් දශ ලක්ෂ හත් දහකට අධික ය. අපගේ ප්‍රධාන ගෙවුම් පියවිම සඳහා මෙම මුදල නොතිබුනේ නම් විනිමය අර්බුදයකට ශ්‍රී ලංකාව පත් වන බව පැහැදිලිය. විශේෂයෙන් අප රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත් හේත්, ආහාර ද්‍රව්‍ය ආනයනය කිරිමේදී ගෙවිය යුතු විනිමය සංචිතය ශක්තිමත් කර ගන්නේ මෙම ශ්‍රමිකයන්ගේ උදව්වෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය.
මැද පෙරදිග හා යුරෝපා රටවල ගෘහ සේවිකාවන් හා වෙනත් රැකියා සඳහා අපගේ ශ්‍රමිකයන් යොමු කරනු ලැබූවේ 1970 ගණන්වල සිටය. එහෙත් 1980 න් පසුව විදේශ ගත වන කාන්තාවන් ප්‍රමාණය ඉහළ ගිය අතර මේ වන විටත් මිලියන දෙකකට අධික කාන්තාවන් ප්‍රමාණයක් විදේශ ශ්‍රමික සේවයේ යෙදේ.
ඔවුන්ගෙන් බහුතරයක් එදිනෙදා ජිවත්වීමට ඇති අපහසුතවය හා දුෂ්කරතාවය නිසා විදේශගත වූවන් ය. මැද පෙරදිග ඇතැම් විදේශ රටවලට ශ්‍රමිකයන් යොමු කරනු ලබූවේ රට රැකියා ඒජන්සි හරහා ය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් යම් පාලනයක් ඇති කළ ද ඒ තුලින් රිංගා කිසිදු නීතියකට යටත් නොවි විදේශ ගතව සේවය කරන විශාල පිරිසක් සිටින බව අප පිළිගත යුතුය.
අප රටට විනිමය එවන්නට ඔවුන් දුක් කදුළු හෙලන බව ඇත්තකි. නමුත් එම කදුළු යට ඇති අදෝනාව භයානකය. අද වන විට කාන්තාවන් විදේශගත විම හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් සමාජය තුල ඇති වී ඇති ගැටුම්කාරි තත්ත්වය ඉතාමත් නරකය.
මව නොමැතිව දරුවන් නොමඟ යෑම, විවිධ අපචාර හා දුෂණ ක්‍රියාවන් එම පවුල් අතර බහුලව දක්නට ලැබේ. එමෙන්ම පවුල් ඒකක බිඳ වැටිම් හා වෙන් වීම් ද වාර්තා වේ. ඒ අනුව බලන විට කාන්තාවන් විදේශ සේවයට යවා උපයන විනිමය ආදායමට වඩා අප ජන සමාජය තුළ බිඳ වැටෙන දේශිය සංස්කෘතිය හා බැදීම් ආරක්ෂා කර ගැනීමට උනන්දු වීම අපට වැදගත් ය.
පසුගිය කාල සීමාවේ විදේශ ගතව සේවය කරන කාන්තාවන් මුහුණ දුන් නොයෙක් අතවර හා හිරිහැර පිළිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුනි. විශේෂයෙන්ම නාදුනන රටක සේවය කරන එවැනි කාන්තාවන් ගේ ආරක්ෂාව පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ද ප්‍රමාණවත් නොවේ.
එමෙන්ම විවිධ අපචාරවල යෙදෙන කාන්තාවන් පිළිබඳව ද ලැබෙන තොරතුරු එමට ය. මේ අනුව බලන විට සමාජ සංස්කෘතිමය වටිනාකම් බිඳ වට්ටමින් උපයන මුදල්වල ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කළ යුතු ය.
විදේශ ශ්‍රමිකයන් යොමු කරන අප වැනිම තවත් රටවල් ගණනාවක් තිබේ. නේපාලය, බංග්ලාදේශය, පිලිපීනය හා තායිලන්තය වැනි රටවල ද කාන්තාවන් ශ්‍රමිකයන් ලෙස විදේශ රටවලට යවා ඇත. එහෙත් මෑත කාළයේ දී නේපාලය කාන්තාවන් මැද පෙරදිග ඇතුළු විදේශ රටවල සේවයට යැවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර දැඩි නිති රීති ද පනවා තිබේ.
පිලිපීනය වැනි රටවල් තම ශ්‍රමිකයන් ගැන ආණ්ඩු ආණ්ඩු අතර ගිවිසුම් අත්සන් කරමින් ආරක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි. බංගලිදේශය වැනි රටවල් ද මේ පිළිබඳව සොයා බැලිමක් සිදුවන බව පැහැදිලිය. එම රටවල් මෙම කරුණ පිළිබඳව සංවේදී වී ඇත්තේ ඒ පිළිබඳව ඔවුන් දක්වන සැලකිල්ල නිසාය.
ශ්‍රී ලංකාවේත් වයස අවුරුදු 18 ට අඩු කාන්තාවන් යැවීම නවතා ඇති බව පසුගිය දා අසන්නට ලැබුනි. එහෙත් දවසින් දවස වාර්තා වන තොරතුරුවලට අනුව විදේශ රටවල සේවයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටළු ඉහල යමින් පවතී. එම නිසා ඒවා පිළිබඳව සැලකිලිමත් වී විදේශ ශ්‍රමික සේවාවලට කාන්තාවන් යැවීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවකට රජය අවතීර්ණවීමට කාලය උදා වී තිබේ.
අපගේ සමාජ, සංස්කෘතික බැදීම් සලකා තවදුරටත් කාන්තාවන් විදේශ ගත කිරිම නවතාලිය යුතු අවස්ථාවට අප පත්ව ඇති බව තේරුම් ගත යුතු ය. විශේෂයෙන්ම එවැනි ශ්‍රමික සේවාවන් සඳහා පුහුණු වෘත්තීය මට්ටමේ වැඩපිළිවෙලක් අරබීමට රජයේ අවධානය යොමුවිය යුතුය.
තිස්ස අත්තනායක
Leave a comment