විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය

September 16, 2016

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතා බහ නැවත වතාවක් ආරම්භ වී ඇති බව පෙනේ. දිගු කලක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට විවිධ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් වූ අතර ප්‍රායෝගික ගැටලූ මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.
ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක මැතිවරණයකදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය සුවිශේෂ වන බව පැහැදිලිය. එයට හේතුව නම් ජනාධිපතිවරණයක ජයග්‍රාහි අපේක්ෂකයා ලබාගත යුතු 50.1 % ක ප්‍රතිශතය මේ තුලින් තීරණය වීමට ඉඩ ඇති බැවිනි.
ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 දී ය. එම ජනාධිපතිවරණයේ දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලක්ෂ 10 ට එහා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අතර ඉන් අනතුරුව එවැනි විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අවස්ථා 2 ක් තිබුණි.
එනම් 1994 පැවැත් වූ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කළ මැතිවරණය හා 2010 මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණය ගත් කළ විශාල ඡන්ද ප්‍රතිශතයක වෙනසක් තිබුණි. මේ අනුව බලන විට සෙසු ජනාධිපතිවරණ කිහිපයේ ම ජයග්‍රාහී අපේක්ෂකයා සිය බලය තහවුරු කර ගන්නේ ඉතා සුළු ප්‍රතිශතයකිනි.
1988 ජනාධිපතිවරණය රණසිංහ ප්‍රේමදාස මහතා ලබාගනු ලැබූයේ 50.4% කි. 2005 මහින්ද රාජපක්ෂ මහතා ජයගනු ලැබූවේ 50.3% කිනි. සෙසු ජනාධිපතිවරණවල 50% සිට 54% දක්වා ප්‍රමාණයන්ගෙන් තහවුරු විය.
මේ අනුව ජනාධිපතිවරණයක තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරිමට විදේශගත ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල පමණක් ලක්ෂ 15 කට අධික ඡන්ද දායකයන් ප්‍රමාණයක් සේවය කරන බව පැහැදිලිය.
යුරෝපය ඇතුළු බටහිර රටවල තවත් ලක්ෂ 10 කට අධික ඡන්ද දායකයන් ප්‍රමාණයක් සිටින අතර ඕස්ට්‍රේලියාව වැනි රටවල ද සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයන් සිටියි. මොවුන්ගේ ඡන්ද ප්‍රකාශ කිරිම සිදු වුවහොත් ජනාධිපතිවරණයක තීරණාත්මක බලපෑම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එල්ල කළ හැකි බව පෙනේ.
මෙහිදි වැදගත් වන්නේ ඡන්ද පැවැත්විම හා ඒවා විශ්වාසනීයත්වයකින් හා ආරක්ෂා සහිතව සිදු වීමයි. බොහෝ රටවල් තම රටේ පුරවැසියන් වෙනුවෙන් විදේශ රටවල තානාපති කාර්යාල හරහා ඡන්දය ප්‍රකාශ කරවීමට ඉඩ කඩ ලබා දෙන අතර ඒවායේ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරිම ද සිදු වේ. බාහිර බලපෑම් හෝ ඡන්ද දූෂණ සිදු නොවීමට වග බලා ගැනීම තානාපති නිලධාරින් විසින් සිදු කෙරේ. මේ නිසා එම ඡන්ද පිළිබඳව සැකයක් හෝ අවිශ්වාසයක් මතු නොවීම ප්‍රධාන කරුණකි.
බොහෝ විදේශගත ශ්‍රී ලාංකිකයින් තම මව්බිමේ පාලනය සඳහා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරිමට උනන්දුවක් දක්වති. වසර ගණනාවක සිටම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ද වන්නේ එම ඡන්ද අයිතිය ඔවුනට ලබා දෙන ලෙස යි. එහෙත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමට කිසිදු ආණ්ඩුවකට අවස්ථාව නොලැබුණි. එහෙත් පසුගිය සතියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් අනුව එවැනි තීරණයකට පිය මනින බව වාර්තා වී තිබේ.
මෙය ඉතා සුබදායක තත්ත්වයකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද අයිතිය මූලික අයිතිවාසිකමකි. තමන් කැමති පාලකයා හා පලනය තෝරා පත් කර ගැනීමට සම්බන්ධ වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතිය තිබිය යුතුය. ඔවුන්ගේ දේශපාලන ආකල්ප අනුව රටට සුදුසු පාලකයා හා ආණ්ඩුව තීරණය කිරිමට පුරවැසියන් ලෙස ඔවුන්ට ද අවකාශය තිබිය යුතුය.
කෙසේ වෙතත් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබා දීමේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරිමට විධිමත් ක්‍රමවේදයක් හා විශ්වාසනීය වැඩපිළිවෙලක් අවශ්‍යය. තානාපති කාර්යාල හරහා මෙම ඡන්ද ව්‍යාපාරය සිදු කරන නිසා සියල්ල විනිවිඳ භාවයකින් සිදු කිරිම අවශ්‍යය.
ලියාපදිංචිවීමේ සිට ඡන්දය දක්වා ක්‍රියාපටිපාටිය ද විවෘත විය යුතුය. මන්ද විදේශගත ශ්‍රී ලාංකිකයින් යනු අපේම පුරවැසියන් ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p