ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතුව පිරී ඇත. එහෙත් නිහඬය. සියලු දෙනාම තිරය දෙස කුතුහලයකින් යුතුව බලා සිටී. තිරය මෑත් වන්නේ ගුවන් යානයක් පොළවට ළඟා වන හඬත් සමගය. පසුබිමින් ගැඹුරු හඬකින් කියවෙන්නේ 1948 පෙබරවාරි මස 04 වෙනි දා අපට ලැබුණු ‘ෆ්‍රීඩම් නමැති ගුවන් යානයේ පැමිණීම ගැනයි’ එලෙස පොළවට පහත් වන ගුවන් යානය අවුරුදු 68ක්ම එකම තැන තියෙන බවත් වරින් වර එය පැදවීමට නොයෙක් වර්ණවලට සලකුණුවලට හිමිකම් කියූ අය භාරගත් බවත් ප්‍රේක්ෂක අපට දනවන අයුරු අපූරුය.
එදා සිට අද දක්වා එම පිරිස ගුවන් යානයට අත්කර දුන් ඉරණම ගැනත් නාට්‍යමය ලක්ෂණ උපහාස රසය ගැබ්වුනු ඉතා උසස් මට්ටමේ රසයක් ප්‍රේක්ෂකයා වෙත ලබාදෙමින්” හෝරා කිහිපයක් ගලා යන්නේ ප්‍රේක්ෂකයන්ට අපගේ මාතෘ භූමියේ සැබෑ දේශපාලන ස්වරූපය පසක් කර දෙමිනි.
ගුවන් යානය සංකේතයක් ලෙසින් මැනවින් භාවිත කර තිබේ. වසර 2600 ගණනක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන පුරාජේරු දෙඩීම මෙන්ම පසුගිය වසර 68 තුළ සිදුු වෙමින් පවතින මන්දගාමී සංවර්ධනය ද ආර්ථික සමාජීය ගැටලු මෙන්ම ජනතාවට වරින් වර අත් විඳීමට සිදු වී ඇති ශෝචනීය ඉරණම ද අති දක්ෂ ලෙස නාට්‍ය පිටපතට ඇතුළත් කර තිබීම ද විශේෂ ලක්ෂණයකි. මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ එම පිටපතට සාධාරණය ඉෂ්ඨ කරමින් අප කාගේත් නොමඟ ද ආදරය ගෞරවය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද ඉමහත් ප්‍රසාදයටත් ආන්දෝළනයටත් පාත්‍ර වී ඇති ප්‍රවීණ රංගධර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්නයන්ගේ ප්‍රතිභාපූර්ණ රංගන නාට්‍යයයි.
එතුමන්ට ලැබී ඇති වගකීම වන්නේ පිටපතට ලැබී ඇති චරිත අටක් වේදිකාව තුළ ප්‍රතිරූපණය කිරීමයි. එම චරිතවලට අවශ්‍ය වේෂ නිරූපණය මෙන්ම විවිධ කට හඬවල් අටක් භාවිත කරමින් කෙරෙන රංගනය මහත් විශ්මයක් ඇති කරවයි. එම චරිත අට ජාතික චින්තන අටකින් යුතු චරිත අටක් වීමත් මෙම නාට්‍යය තුළින් මතු කරන්නට වෙර දරන අන්තර්ගතය මැනවින් ප්‍රේක්ෂකයනට ලඟකර දෙයි. පිටපතට ඉතාමත් උචිත ආකාරයෙන් ඉතා කෙටි කාලයක් තුළ එක් එක් චරිතවලට මාරු වෙමින් විල්සන් ගුණරත්න නම් අද්විතීය රංගධරයා ඒ ඒ චරිතවලට ප්‍රවිශ්ඨ වන්නේ ප්‍රේක්ෂකයා මවිත කරවමින්ය. ප්‍රේක්ෂකයාගේ විශ්මය දෙගුණ තෙගුණ වන්නේ එම චරිත අපගේ මාතෘ භූමියේ වරින්වර පාලනයට එක්වුණ දේශපාලන චරිත වීමය. චරිත අටක හැසිරීම් රටාවන් ‘කටහඬ’ ‘සංකල්ප’ ආදිය මෙන්ම එම දේශපාලනඥයන්ගේ කාලය තුළ ඇතිවුනු ඇතැම් ඛේදජනක සිදුවීම් මෙන්ම ඇති වෙමින් පවතින හාස්‍ය ජනක
සිදුවීම්ද අප වෙත ගෙන එන්නේ අපගේ මාතෘභූමිය තුළ ඇති වී තිබෙන නීරස මෙන්ම මාතෘභූමියේ ප්‍රගමනයට කිසිසේත් නොගැලපෙන දේශපාලන ස්වරූපයයි. දියුණුයැයි සම්මත රටවල දේශපාලනයත් අර්ධ දියුණු රටවල දේශපාලන ක්‍රම වේදයන් තුළත් බරපතළ වෙනස්කම් ඇත්තේ මන්ද යන ප්‍රශ්නයද මැනවින් චරිත අටක් තුළ නාට්‍යමය ස්වරූපයේ ඇවැසි උපහාස රසය ද එකතු කරමින් ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ අපූර්වතම අන්දමකිනි. දේශපාලකයන් සමඟ අත්වැල් බැඳගෙන ඇති ජරාජීර්ණ වූ නිලධාරී වාදයද මතුකිරීමට ද නිර්මාණකරුවා සහ පිටපත් රචක චන්ද්‍රතිලක් ගුණරත්න මනා සේ කැපවී ඇත. දේශපාලනය යනු එක්තරා විද්‍යාවකි. නැතහොත් යම්කිසි න්‍යායකි. එම දේශපාලන න්‍යායට අනුව දේශපාලනය කරන පිරිස් ද රටවල් ද තිබේ.
එහෙත් අපට බහුලව ඇසෙන්නට පෙනෙන්නට ඇති දේශපාලන ක්‍රමය නම් වෙනත් දෙයකි. එය බලය පිළිබඳ අරගලයකි. පොරොන්දු, රැවටීම් සහ විවිධ ආකාරයේ ප්‍රකාශවලින් අනූන වූවකි. දේශපාලකයන් විසින් ජනතාව තමන්ගේ න්‍යාය පත්‍රයන් සහ අරමුණු ඉෂ්ට කර ගැනීමට පාවිච්චි කිරීමේ නිමාවක් නැත. ජනතාවද දැන හෝ නොදැන එවැනි වූ දේශපාලකයන්ට රැවටීමේ සීමාවක්ද නැත. ඇතැම් දේශපාලකයෝ ජනතාව නොනවත්වාම රවට්ටති. ජනතාව ද නොනවත්වාම රැවටෙති. මේ ඛේදවාචකයෙන් මිදෙන්නට නම් ජනතාව බුද්ධිමත් විය යුතුය. නැතහොත් කිසිම දිනක මේ මාතෘභූමිය ජනතාව ප්‍රාර්ථනය කරන්නා වූ ආර්ථික සහ සමාජීය සංවර්ධනය කරා ගෙන යා නොහැක. ඇතැම් දේශපාලකයන් තමනට අවශ්‍ය විට දී ජනතාව බෙදා වෙන්කර ගනිති. ජනතාව ද එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත්වෙති. ජනතාව තමන්ගේ අරමුණ සාක්ෂාත්කර ගැනීමට බෙදන අවස්ථාවාදී දේශපාලකයෝ ජාතිවාදය ද වපුරන්නේ තමන්ගේ න්‍යාය පත්‍රය සහ ඉලක්ක සපුරා ගැනීමටය. එහෙත් හිටිහැටියේ ජනතා සමගිය ගැන උජාරුවෙන් තප්පුලන්නේද මේ අවස්ථාවාදී දේශපාලනඥයින්ය.
ඉහත කී ඛේදජනක තත්ත්වය ඉතාමත්ම මැනවින් වේදිකාවට ගෙනහැර දක්වන්නට ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්නයන් මෙන්ම ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනා සමත් වෙති. මාතෘ භූමියට කිසිසේත් ආදරයක් ගෞරවයක් නැති පාලකයන්ගේ ප්‍රෝඩාකාරි සට කපට දේශපාලනයට හසු නොවන්නට ජනතාව බුද්ධිමත් ඉසව්වකට ගෙන යන්නට චරිත අටක් සමබර කාලීන දේශපාලන ප්‍රහසනය ගන්නා වූ උත්සහාය අතිශයින්ම කොයි කාගේත් පැසසුමට මෙන්ම අවධාරණයටද ලක්විය යුතු කාරණාවකි. අප අතර ඇති භේදභින්න වීම සහ අසමගිය ජාත්‍යන්තර තැරවු කරුවනට මෙන්ම
කුමන්ත්‍රණ කරුවනටද මේ මාතෘ භූමියේ සියලු සම්පත් ඩැහැ ගැනීමට අවැසි පරිසරය නිර්මාණය කරනු ලබන බවට අනතුරු ඇඟගවීමක් ද කරන්නට චරිත අටක් අමතක නොකරයි. කොයි කාටත් දේශපාලනය කරන්නට රට ඉතුරු වී තිබීය යුතුයි. ඒ සඳහා දේශීය මෙන් විදේශීය කුමන්ත්‍රණකරුවන් පරාජය කළ යුතුයි. චරිත අටක් තුළ බලිතොවිල් සම්ප්‍රදායද අපූරුවට භාවිත කරමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණය නැමැති කොඩිවිනය කැපීමෙන් නාට්‍යය කෙළවර වේ.මේ සඳහා සියලුම දේශපාලකයන් මෙන්ම සිංහල, දෙමළ, මුස්ලීිම්, මැලේ,බර්ගර් ආදී සියලුම ජන කොටස් සඳහා කෙරෙන ආරාධනාවක්ද නාට්‍යයේ අගභාගයේ අපූරුවට සංකලනය කොට තිබේ. මෙම විචාර ලිපිය අවසන් කරන්නට මත්තෙන් මේ සුවිශේෂී රංගධරයාගේ ප්‍රයත්නය ගැන අත්‍යවශ්‍යම සටහනක් තැබීය යුතුය.
නළුවකු වෙස් වලා ගැනීමෙන් පමණක් සාර්ථක රඟගපෑමක් ඉෂ්ට වන්නේ නැහැ. එහෙත් විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක රඟග පෑම රඟගපෑමක් කියන වචනෙන් ද්වනිත අර්ථයටත් වඩා එහා ගිය රඟගපෑමක්. පිළිගන්න නම් නරඹන්නටම ඕනේ. චරිත අටක් සඳහා දායක වන සියලුම දෙනා මේ මාතෘභූමියේ අභිමානය නගාසිටුවීමට දායක වන අය බව සටහන් කරන්නට ඕනෑමයි. කිසිදා පිළුණු නොවන සමබර කාලීන දේශපාලන ප්‍රහසනයක් වන ‘චරිත අටක්’ නිර්මාණය කොට අපට ඉදිරිපත් කිරීමේ දී විල්සන් ගුණරත්න නම් වූ ප්‍රතිභාපූර්ණ රංගධරයා භාවිත කරන මෙම ක්‍රම වේදය පිළිබඳ ඔහු විසින් පසු ගිය දිනක විදෙස් නාලිකාවකට කළ සටහනකින් මෙම විචාරය අවසන් කරමි’ එනම් මුල් භාගයේ සිනාසෙන, අග භාගයේ හඬා වැටෙන මේ දෙයාකාරතත්ත්වය තුළ මාතෘභූමියේ ඉරණම ගැන හිතන්න ප්‍රේක්ෂකයාගේ චින්තන සන්තානයන් අවධිකරවන ක්‍රමවේදයන් භාවිත කර තිබේ.
ඔසඳ යසස් ශ්‍රී ගුණරත්නගේ සංගීතයත්, තුෂාර ජාගොඩගේ වේෂ නිරූපණයත් අගනේය. තුෂාර ජාගොඩ ඔහුගේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ඨ කර තිබේ. ඔහුගේ වේෂ නිරූපණ ශෛලිය පාඨමාලාවක් බඳූය. චරිත අටක් එක් වරක් නොව නැවත නැවතත ජනී ජනයා රොද බැඳගෙන නරඹන්නට යන්නේ එහි ඇති අප්‍රමාණ වූ ගුණාංග නිසාමය. අපගේ සිහින දේශයේ දේශපාලකයා හා දේශපාලනය නොබියව, නිවැරදිව සමබරව විශ්ලේෂණය කොට ඉදිරිපත් කිරීමට චරිත අටක් මුළුමහත් කණ්ඩායම සමත් වී ඇත. ඉතා කෙටි කලකින් 300 වෙනි දර්ශනයට සම්ප්‍රාප්ත වූ ‘චරිත අටක්’ වෙතට සුබ පැතුම්.
Leave a comment