2017 රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වසර

August 30, 2016

2017 වර්ෂය රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක‍්වෙමිනි.රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය නොවන සියලු ආයතන ඒකාබද්ධ වූ පුළුල් වැඩපිළිවෙළක් තුළින් මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දිළිඳුකම පිටුදැකීම පිළිබඳ කථා කරනවිට සමෘද්ධි ව්‍යාපාරය සහ දිවි නැඟුම ප්‍රමුඛ වුවද ඊට අයත් නොවන, දුගීභාවයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව අතිවිශාල බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ පහළ ‍ශ්‍රේණිවල සේවය කරන බරපතළ ආර්ථික අසීරුතාවයන්ට ලක්ව ඇති අයගේ සුබසාධනය සඳහා කළයුතු කාර්යන් ඉටුකිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම ක්‍රියා කරන බව ද ප්‍රකාශ කළේ ය.

අපේ රටේ සංවර්ධනය තවමත් දේශපාලන චරිත හා බැඳී පවතින බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා නොගෙන කටයුතු කිරීම හේතුවෙන් පසුගිය යුගයේදී සංවර්ධනයේදී සිදුවූ අසාධාරණය ඉමහත් බව ද කියා සිටියේ ය.

රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම එක ලෙස සංවර්ධනය කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගත් සාධාරණ සහ සමබර සංවර්ධනයක් රටට ලබාදීමට 2017දී අරඹන මෙම වැඩසටහන තුළින් හැකිවනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට 2015 වසරේදී යහපාලන රජය කැපවූ අතර දේශීය හා විදේශිය ආයෝජන පුළුල් කර ගනිමින් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රටට ලබා ගැනීමට 2016 වසරේදී ප්‍රමුඛත්වය ලබාදුන් බව ද සිහිපත් කළේ ය.

මිහිරි, අමිහිරි සුබ අසුබ ඒකාකාරි කථා බහක් පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය තුළ සහ දේශපාලන වේදිකාවේ අසන්නට ලැබුණු අතර, රට දිළිඳුකමින් නිදහස් කර ගනිමින් ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමේ වගකීම පිළිබඳ අවධානය යොමු නොවූ බව පැවසූ ජනාධිපතිතුමා කාර්යක්ෂම සහ විධිමත් වැඩපිළිවෙළක් තුළින් එම වගකීම ඉටු කිරීමට සියලුදෙනා පෙළ ගැසිය යුතු බව ද කියා සිටියේය.

2016 වසරේ ප්‍රතිපාදන වැය කිරීමේ මූල්‍ය සහ භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීමේ වැදගත්කම ද මෙහිදී නිලධාරින්ට පෙන්වාදුන් ජනාධිපතිතුමා ඉදිරි මාස කිහිපය තුළ එම මුදල් නිසි ලෙස වැය කිරීමට නිලධාරින් වගබලා ගත යුතු බවත් ඒවා නිසි ලෙස භාවිතයට නොගෙන මහා භාණ්ඩාගාරය වෙත නැවත යොමුකිරීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ අදාළ නිලධාරින් වගකිව යුතුබවත් අවධාරණය ‍කළේය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර මහවැලි අධිකාරියේ ක්‍රියාකාරිත්වය, වේලි ආරක්ෂක ව්‍යාපෘතිය, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය, මොරගහකන්ද – කලුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආදිය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

පොලිතින් තහනම පිළිබඳව පසුගිය වසරේ රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගත්ත ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් මතුව ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ නිසි ලෙස ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට සියලු අංශවල අවධානය යොමුවිය යුතු බව ද ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p