අතුරුදහන් කාර්යාලයට වින කටින්නෝ

August 28, 2016

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව නැවත වතාවක් උණුසුම් විය.  සන්ධානයේ කචල්කාර කල්ලිය නැවතත සභා ගැබ මැදට හෙවත් “වලට” පැමිණ විරෝධතා දැක්වීය. ඒ විවාද කිරීමට නියමිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනතට එරෙහිවය.

ප්‍රකට සෝවියට් ලේඛක නිකොලායි ඔස්ත්‍රොව්ස්කි වරෙක ලියූ පරිදි මිනිසකුගේ අති උතුම් වස්තුව ජීවිතයයි.  එය ඔහුට ලැබෙන්නේ එක් වරක් පමණි.  ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන ආදී සියල්ල අත්පත් කර ගත හැක්කේ ජීවත් වුවහොත් පමණි.  කෙනෙකුගේ ජීවිතය ඔහුට හෝ ඇයට පමණක් නොව ඔහු/ඇය අයත් පවුලට, ඥාතීන්ට මෙන්ම මුළු මහත් මානව සමාජයටම වටනේය.

පශ්චාත්  බ්‍රිතාන්‍ය යටත්විජිත ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් ජන ජීවිත අහිමිව ගිය, පුද්ගලයන් අතුරුදහන් කළ අවස්ථා කිහිපයක්ම තිබුණි.  1971 අරගලය, 1987/89 දේශප්‍රේමී අරගලය හා 30 අවුරුදු යුද්ධය එහි ප්‍රධාන සන්ධිස්ථානයන්ය.  යුද්ධයෙන් පසුවද ඒ හා සම්බන්ධ වූ හෝ නොවූ අතුරුදහන් කිරීම් රැසක් වාර්තා විය.

කවර පුද්ගලයෙක් අතුරුදහන් වුවද ඔහු හෝ ඇය පිළිබදව තොරතුරු ලබාගැනීමට අතුරුදහන් වූ තැනැත්තාගේ ඥාතීන්ට අයිතිවාසිකමක් ඇත.  ඒ ඥාතියා දෙමාපියන්, දරුවන්, බිරිඳ, සැමියා , මුණුපුරු, මිණිපිරියන්, අර්ධ/පූර්ණ සහෝදර සහෝදරියන්, භාරකරුවෙක් වැනි කවරකු හෝ විය හැකිය.  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයක් රට තුළ ස්ථාපිත විය යුතුතේ ඒ අයිතිය ලබාදීම සදහාය.

1971 අරගලයේදීත්, 1987/89 කාලවකවානුවේදී අතුරුදහන් කළ දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිළිබද තවම හෙලිදරව් නොවු තොරතුරු අප්‍රමාණය. නිවැරදි තොරතුරු හෙලි නොවීම නිසාම තම තමන් කැමති පාර්ශවයන් මත වරද පටවා අත පිසදා ගැනීම පසුගිය වසර 25 තුළම සිදු විය.  30 අවුරුදු යුද්ධය සමයේ එල්ටීටීයෙන් හෝ රජයේ හමුදාවෙන් හෝ වෙනත් අතුරු හමුදාවන් මගින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ දහස් ගණන් පුද්ගලයන් සොයා තවම ඒ අයගේ ඥාතීහු හඩා වැලපෙති;  හමුදා කදවුරු, පොලීසි ගානේ බඩගාති; තොරතුරු සොයති; දෙවියන්ට යාඤා කරති. ඔවුන්‍ට  අවශ්‍යව ඇත්තේ අතුරුදහන් වූ තම ඥාතියාගේ ජීවිතය යළි ලබාගත නොහැකි නම් අඩු තරමේ ඔවුන් අතුරුදහන් වූ ආකාරය හෝ දැනගැනීමටය.

යුද්ධයේ අවසන් අදියර වූ 2006-2009 කාල පරිච්ඡේදය තුළ ශ්‍රි ලංකා ආරක්ෂක අංශවල සාමාජිකයින් 5100 ක් පමණ අතුරුදහන්ව ඇත.  බහුතරයක් සිංහල වූ ඒ අයගේ දෙමාපියන්ටද , බිරින්දෑවරුන්ටද, දරුවන්ටද, තම දරුවාට,  සැමියාට  අත්වූ ඉරණම දැනගැනීමට අවස්ථාවක් ලැබී නැත. එසේම එල්ටීටීය විසින් පැහැර ගෙන ගිය දෙමළ, සිංහල, මුස්ලිම් පුද්ගලයන් පිළිබද තොරතුරුද අතුරුදහන්ව ඇත.  යුද්ධයෙන් පසුව සුදු වෑන් මගින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ ප්‍රමාණයද සුළුපටු නොවේ.  2011 ලෝක මානව හිමිකම් දිනයේදී අතුරුදහන් කල ලලිත් වීරරාජු හා කුගන් මුරුගානන්දන් ඇතුළු සිය ගණනක් මේ ලැයිස්තුවේ වෙති.

 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබදව කාර්යාලයක් පිහිට විය යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙරය.  අඩුම තරමේ යුද්ධය අවසන් වී වසරක් තුළ වත් එය ස්ථාපිත කළ යුතුව තිබිණ.  යුද්ධය අවසන්ව දින 7ක් තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් එවකට පැවති ආණ්ඩුවට යෝජනා කළ පරිදි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කළේ නම් එහි ඊළග අදියර විය යුතුව තිබුණේ මේ කාර්යාලයයි.

යුද්ධය අවසන් වුවද, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ජාතික සමගිය ගොඩ නැගීමේ කිසිදු වුවමනාවක් ති‍බුණේ නැත.  එල්ටීටීය විසින් බලහත්කාරය යොදවා පීඩාවට පත් කරගෙන සිටි අපගේම ජනතාවක් යුද්ධ කොට මුදා ගත්තා යන්න වෙනුවට ආණ්ඩුව පෙන්නුම් කළේ තමන්ට අහිමිව තිබූ භූමියක් යළි අල්ලා ගත්තා වැනි හැගීමක් ජනිත කරවීමටය.  එවකට ඉදිරිපත් වු සංහිදියා යෝජනා සියල්ල නතර වූයේ කුණු කූඩයේය. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ නම් හෙලි කරන ලෙසට බල කරමින් යාපනයේ පැවති විරෝධතාවයකට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහෝදරයාගේ ඔලුව පැලුවේ රාජ්‍ය අනුග්‍රහය ලත් සන්නද්ධ කණ්ඩායමකි.

අතුරුදහන් කරන ලද තම රටේම සිංහල, දෙමළ , මුස්ලිම් ජනතාවට යම් හෝ සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් පණතක් පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේදී රාජපක්ෂ කල්ලිය සිය සුපුරුදු ජාතිවාදී, ගෝත්‍රවාදී, ග්‍රාම්‍ය අංගෝපාංග රටට ලෝකයට යළි ප්‍රදර්ශනය කළහ.  මේ අතුරුදහන් වූ පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල් මේ රටේ ජනතාවගෙන් කොටසක් බව ඔවුහු  නොසලකා හැරියහ.

මේ සූරිය කන්දේ ඇටකටු ගොඩ දමා 1994 දී බලය ගත් පාලකයන්ද ? එදාත් අතුරුදහන් කළ දරුවන්ගේ මව්පිය වරුන්ගේ කදුළු ඔවුන්ට බලයට ඒමට මාවතක් විනා අන් යමක් නොවීය. අදත් මේ ඝෝෂාව ජාතිවාදී මාවතේ ගොස් යළි බලය ඩැහැ ගැනීමටය.  වීරවංශලා, ගම්මන්පිලලා, රාජපක්ෂලා මෙසේ හැසිරීම අපට අරුමයක් නොවේ.  එහෙත් කෙදිනක හෝ මෙරට වාමාංශය නියෝජනය කළ වාසුදේවලා , ගජධීරලා ගේ මේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ බලය ලැබේ නම් දේශපාලන ප්‍රතිපත්ති ඔවුන්ට අදාළ නැති බව නොවේද?

සංශෝධන කිහිපයක් සහිතව මේ පනතට අප පක්ෂ වූයේ අතුරුදහන් කළ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ දුක් වේදනා අප හොදින් හදුනනබැවිනි.  මිනිසුන් අතුරුදහන් කළ පාලකයන්ගෙන්ම පූර්ණ සාධාරණයක් අපේක්ෂා කිරීමට තරම් අපි අඥාන නොවෙමු. එහෙත් අනාගතයේදී හෝ මෙවැනි අතුරුදහන් කිරීම් වැලැක්වීමට අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ගෙන එන කවර පනතක් හෝ නීතියක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p