D.I.G සදුන්ගහවත්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි

August 18, 2016

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සදුන්ගහවත්ත මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන එ්කකය අද (18) පෙරවරුවේ දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළේය.
මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවන වකවානුවේදී පුත්තලම පොලිස් කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
මේ සම්බන්ධයෙන් සැකපිට පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී කාර්යාල දෙකෙහි ප‍්‍රධාන ගණකාධිකාරීවරයාව සහ පොලිස් සැරයන්වරයෙක් පොලිස් විශේෂ විමර්ශන එ්කකය විසින් පසුගිය 11 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබීය. පොදු දේපොල පනතින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් මේ මස 25 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සියල්ල සිදුවුණු බව ඔවුන් දෙදෙනා ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ප‍්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් විශේෂ විමර්ශන එ්කකයේ තොරතුරු අනාවරණය කළේය.
මෙම ඉදිකිරීම් වලදී රුපියල් ලක්‍ෂ 20 ක පමණ මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුව ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය.
කොන්ත‍්‍රාත්කරුවෙකුගේ නමක් සදහන් කරමින් එම කොන්ත‍්‍රාත්කරු මගින් ඉදිකිරීම් කර ඇති බවට ලිපි ලේඛන වලින් පෙන්වා ඉදිකිරීම් කර තිබෙන බව පොලිසිය කියයි. චෙක්පත් එම කොන්ත‍්‍රාත්කරුගේ නමට නිකුත්කර පසුව රේඛන අවලංගුකර බැංකුවෙන් මුදල් ලබාගෙන ඇති බවද පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.
එසේ චෙක්පත් මාරුකර බැංකුවෙන් මුදල් ලබාගෙන ඇත්තේ පොලිස් පොලිස් සැරයන්වරයෙක් මගින් බවද හෙළිවී ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන එ්කකයට පැමිණ ඇත්තේ නීති පොත් කිහිපයක්ද රැගෙනය. තමන් මුදල් වංචාවකට සම්බන්ධ නැති බවත් එ් කිසිදු මුදලක් තමා ලබානොගත් බවත් ප‍්‍රශ්ණ කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන්කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p