ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නුදුරේදීම එළිදක්වනවා – අගමැති

August 15, 2016

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හා දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා ලබාදෙන අවස්ථා හා දිරිගැන්වීම් නුදුරේදීම එළිදක්වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ චීනයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් සියය අතරට සහ මුල් පෙලේ සේවා ව්‍යවසායන් පන්සියය අතරට ගැණෙන චොංඡිං මහනගර ආණ්ඩුව යටතේ පාලනය වන චොංඡිං විදේශ වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සමාගම සමග විශේෂ සාකච්ඡාවකට 14 වන දා සන්ධ්‍යාවේ සහභාගි වූ අවස්ථාවේදීය.

එහිදී චොංඡිං විදේශ වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සමාගමේ සභාපති යූ යැං මහතා සඳහන් කළේ එම තොරතුරු එළිදැක්වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින චොංඡිං මහනගරයේ ව්‍යවසායකයින් තව තවත් දිරිමත් කිරීමට තම සමාගම කටයුතු කරන බවය.

දැනටමත් හම්බන්තොට කර්මාන්ත කලාපයේ ඉදිකිරීමේ කාර්යභාරය ඉටුකරලීම සඳහා තම සමාගම කැමැත්තෙන් සිටින බව පැවසූ යූ යැං මහතා කර්මාන්ත කලාපය ආශ්‍රිතව ටින් මාලූ, මැණික් හා ස්වර්ණාභරණ ආදී නිෂ්පාදන කර්මාන්ත මෙන්ම අපනයන භාණ්ඩ ගබඩා පිහිටුවීම සම්බන්ධව ද තම සමාගමේ අවධානය යොමු වී ඇති බව පෙන්වා දුන්නේය.

හම්බන්තොට නව නගරය ඉදිකිරීමේ දී ඉංජිනේරු ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳව තමන්ට ඇති පුළුල් අත්දැකීම් පදනම් කර ගනිමින් සැලසුම් ඉදිරිපත් කිරීමට තමන් අපේක්‍ෂා කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සතුව ඇත්තේ සීමිත වෙළෙඳපොළක් බැවින් ලෝකයේ විවිධ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්‍ෂාව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් ශ්‍රී ලංකාව හරහා වඩාත් පුළුල් වෙළෙඳපොලකට පිවිසීමේ හැකියාව ආයෝජකයන්ට ලැබෙන බව ද පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන් ලියැං මහතා පැවසූයේ දකුණු ආසියාවේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂය මුදුන්පත් කර ගැනීමට චීනය සිය උපරිම සහාය ලබාදෙන බවය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව චීනයේ යාබද රාජ්‍යයක් ලෙස සලකන බව ද, චීනයේ රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන කදිම උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශවික සම්බන්ධතාවය පෙන්වා දිය හැකි බව ද යී ෂියැන් ලියැං මහතා පැවසීය.

ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p