වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

August 15, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ  වෝන් මුරලි කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය.

විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් පසු අපට ක්‍රිකට්වල හිමිව තිබූ ස්ථානය ක්‍රමක්‍රමයෙන් ඇද වැටීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව අවිනිශ්චිතතාවයක්ද ගොඩ නැගුනි. කෙසේවුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරදා ලබාගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී වන අතරම ඔවුන්ට සුබප්‍රාර්ථනා ද කළ යුතුව ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස බැලීමේදී බොහෝ දෙනෙකු අමතක කර ඇති කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීම සඳහා දිවංගත ආමාත්‍ය ගාමිණී දිසානායක මහතා ලබා දුන් දේශපාලන නායකත්වය ය. එදා ක්‍රිකට් සඳහා මේ තරම් මුදල් පරිහරණයක් ද නොවුනි. ක්‍රීඩකයන්ට පහසුකම් ද මද විය.

විශේෂයෙන්ම රාජ්‍ය අනුග්‍රහයක් සෘජු ලෙස මේ සඳහා ලැබුණේ නම් ඒ ගාමිණී දිසානායක මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකළ සමයේදී ය. එවකට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා පත්වීමට ගහ මරා ගැනීමක් ද සිදු නොවුනි. ක්‍රිකට්වලට තිබෙන අභියෝගය ජය ගැනීමට හැම දෙනාටම තිබෙන මනා කැපවීම ප්‍රදර්ශනය කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලය සාමුහිකව ක්‍රියාකළ අන්දම අපට අදටත් මතක ය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය අපට ලැබුණේ ටෙස්ට්වරම් ලබා ගැනිමත් සමඟ ය. බන්දුල වර්ණපුර මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එදා අපට එම ජයග්‍රහණයට මඟ පෑදු විශිෂ්ටයන් ය. ලෝකය අප ගැන කතා කරන්නත් ක්‍රිකට් පිළිබඳව අනන්‍යතාවයක් ගොඩනගා දෙන්නටත් මුල් වූ සුවිශේෂී අවස්ථාවක් වූයේ 1996 ලෝක කුසලානය දිනාගත් අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ය. අදත් එය අපගේ නොමැකෙන සිහිවටනයකි. එහෙත් බොහෝ දෙනෙක් එදා එම ජයග්‍රහණය ලබා ගන්නා අවස්ථාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි ආනා පුංචිහේවා මහතා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලය අද අමතක කර දමා ඇත. ඉන් අනතුරුව සිදුවූයේ ක්‍රිකට් වලට මුදල් රිංගීම ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ද මෙම අසනීපය වැළඳීම හේතුවෙන් දිගින් දිගටම ඇතිවූ මතභේදයන් මත අපගේ ක්‍රිකට් කණ්ඩායම් වල දක්ෂතාවයන් දිරි ගන්වනවා වෙනුවට මුදලට යටවීම සිදු විය. වරින් වර අප යම් යම් තරඟාවලි ජයග්‍රහණය කළ ද අපට හිමිව තිබූ ක්‍රිකට් ස්ථානය ක්‍රමානුකූලව පසුබසිමින් තිබුණි.

කෙසේ වුව ද මේ සතියේ වාර්තා වූ ජයග්‍රහණය එම පසුබැසීම වැළැක්වීමට අපට ලැබුණු අවස්ථාවක් බව පැහැදිලි ය. විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස් ගේ කණ්ඩායමේ මෙවර ඇතුලත්ව ඇති නවකයින් පෙන්වූ දස්කම් අගය කළ යුතුම ය. ක්‍රිකට් යනු අභියෝගයකි. එම අභියෝගය ජයගැනීමට කුසලතා ඇති පිරිස් අප සතුව සිටින බව තේරීම් කමිටු හා පාලක මණ්ඩල තේරුම් ගත යුතුව ඇත. මෙවර ජයග්‍රහණය අත්හදා බැලීමක් වුව ද සාර්ථක ය. එබැවින් මෙයින් උද්දාම නොවී ක්‍රිකට් වල සැබෑ හැකියාවන් ඇති අය හඳුනාගැනීමට ක්‍රියා කළ යුතු ය.

ක්‍රිකට් යනු මෑත කාලයේ සල්ලි ගලන උල්පතකි. එසේ වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය කාලය තුල ක්‍රියාකළ අන්දම හා නොසැලකිල්ල හේතුවෙන් විනාශ වී ඇත. ක්‍රීඩකයන් ගේ උත්සාහයෙන් ලබාදෙන ජයග්‍රහණ මත අපට හිමි වන මූල්‍යමය වත්කම් නිසි ලෙස පරිහරණය කිරීම පාලක මණ්ඩලයේ වගකීමයි.

tissa

තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p