ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ හැප්පෙන්නේ නැහැ – අගමැති

August 9, 2016

ශ්‍රේෂ්ඨාධිකරණය එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දී ඇති තින්දුව පිළිබඳව කතානායකවරයා තීරණයක් දිය යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරද්දී ස්ථාවර නියෝග අනුගමනය කර ඇතිද නැතිද යන්න පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කාර්යයක් වන අතර ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ කතානායකවරයාට බවද සඳහන් කළේය.
පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ක්‍රමවේදය සුදුසු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා කොට සභාවට ඉදිරිපත් කළ හැකියැයිද අගමැතිවරයා කීවේය. ෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන තමන්ට ගැටලූවක් ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ හැප්පෙන්න යන්නේ හෝ අගවිනිසුරුතුමාට විරුද්ධව දෝෂාභියෝග ගෙන ගෙන එන්නේ නැතැයිද අගමැතිවරයා පැවසීය. අතීතයේ එවැන්නක් නොතිබූ බවද අගමැතිවරයා කීවේය.
එහිදි අගමැතිවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ ආදායමට බලපන්නාවූ පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරනු ලබන ආකාරයකින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යුතුය. දෙවනුව ස්ථාවර නියෝග 133 අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුවේ.
අධිකරණයේ මතය වනුයේ මෙම විධිවිධාන දෙකම අනිවාර්ය බවයි. මේ අමාත්‍ය මණ්ඩලයත් මීට පෙර පැවැති අමාත්‍ය මණ්ඩලයත් මේ ක්‍රමවේද දෙකම අනුගමනය කර තිබෙනවා. මේ ක්‍රමවේදයට බැහැරව සම්මතවූ පනත් කෙටුම්පත් කොපමණ ප්‍රමාන්‍යක් තිබෙනවාද හැම පාර්ලිමේන්තුවකම සම්මතවූ මෙවැනි පනත් කෙටුම්පත් පිළිබඳ ලැයිස්තුවක් මම දැන් හදාගෙන යන්නේ. මෙලෙස සම්මත වූ පනත් ගණනාවක් තියෙනවා. ඒක අද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙන්නේ.
පනත් කෙටුම්පත සභාගත කරනු ලැබ සභාව දැනුවත් කොට ඇති බැවින් අමාත්‍ය මණ්ඩලය විසින් නිසි කාර්ය පටිපාටිය අනුගමනය කොට ඇත්තේද යන්න තීරණය කිරිම පාර්ලිමේන්තුව විසින් සිදු කළ යුත්තකි.
එම තීන්දුව ලබාදීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දක්වා අනුගමනය කරන ලද සම්ප්‍රදායෙන් බැහැරව අනුර බණ්ඩාරනායක හිටපු කතානායකතුමාගේ තීන්දුවටත් විරුද්ධවයි ක්‍රියාකරලා තිබෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට අයත් වැඩකටයුත්තක්.
මෙතන ඝට්ටනයක් ඇති කරන්න අපට වුවමනාවක් නැහැ. ඒවාගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අලූත් බලතල දෙන්න වුවමනාවකුත් නැහැ. මූලික අධිකරණ බලය තිබෙන්නේ මේ සභාවටයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p