කළු ඩිෆෙන්ඩරයෙන් පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට ඇසින් දුටු ප‍්‍රබල සාක්‍ෂි ලැබේ.. කුඩා දැරියක් සාක්‍ෂි දෙයි

January 1, 2016

කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිස විසින් දෙමටගොඩදී පැහැර ගත් පුද්ගලයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හමුවට රැගෙන ගොස් ඇති බවට කරුණු හෙළිවී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා පැහැර ගත් බව කියන පස්වැනි සැකකරුගේ දියණිය විසින් මේ පිළිබඳව කරුණු හෙළිකරමින් ප්‍රකාශයක් ලබාදී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමේදී මේ බව හෙළිවිය.

පස්වැනි සැකකරුගේ දියණිය ඉකුත් 30 වැනිදා තම කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ දෙසැම්බර් 20 වැනි දින තම මව වෙනත් පුද්ගලයකු සමග ගොස් ඇති බවත් ඒ ගැන තම පියා තමාගෙන් විමසූ බවත්ය. එසේම තම මව වෙනත් පුද්ගලයකු සමග දුරකථනයෙන් සබඳතා පවත්වන බවත්, එම පුද්ගලයා ලුනාව දේවාලය ළඟ රෙදි කඩයක වැඩකරන බවත්, අම්මා ඔහු හමුවීමට තමන් සමග ගොස් ඇති බවත් දැරිය විසින් තම පියාට දැනුම් දී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව දෙසැම්බර් 21 වැනි දින උදේ තම පියා තමන් සමග වැල්ලම්පිටිය පොලිසිය වෙත ගිය බවත්, පසුව හිරුණිකා මැඩම්ගේ කාර්යාලයට ගොස් මැඩම් හමුවූ බවත්, පසුව එම කාර්යාලයේ සිටි කිහිප දෙනකු සමග කළුපාට ජීප් රථයක නැග දෙමටගොඩ රෙදිකඩය වෙත ගිය බවත් දැරිය පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වෙයි.

දෙමටගොඩ රෙදිකඩයේ සිටි රතුපාට ටී ෂර්ට් එකක් හැඳ සිටි අයකු තම අම්මා සමග සම්බන්ධයක් පවත්වන බවට තමන් පෙන්වා දුන් බවත්, ඉන්පසුව පැමිණි පිරිස එම අන්කල් රැගෙන හිරුණිකා මැඩම් ළඟට ගෙනගිය බවත් ඇය වැඩිදුරටත් සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණ.

මෙම සිද්ධිය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ අතර, නීතිපතිවරයා උපදෙස් කිහිපයක් ද ලබාදී ඇතැයි මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පස්වැනි සැකකරුගෙන් බන්ධනාගාරය තුළට ගොස් ප්‍රකාශයක් ලබාගත් අතර, ඔහු සඳහන් කර තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 (1) වගන්තිය ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවය. එබැවින් ලබන 04 වැනිදාට ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත්, රහස් ප්‍රකාශය ලබාදීම හේතුවෙන් මෙම සැකකරු අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කොට වෙනම රඳවා තබා තැබීමටද නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, ඉකුත් දෙසැම්බර් 22 සහ 23 යන දෙදින තුළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඇයගේ කාර්යාලයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කැඳවා මාධ්‍ය ප්‍රකාශ ලබා දුන් දර්ශන ඇතුළත් සංස්කරණය නොකළ සී.ඩී. තැටි තම කොට්ඨාසය වෙත ලබා දීමට අදාළ මාධ්‍ය ආයතනවලට නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ ප්‍රවෘත්ති ඇතුළත් සීඩී තැටි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන්නැයි අදාළ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් වන්නේ, නො. 426/47, මල්වත්ත, ගොතටුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තාය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනකු අධිකරණය මගින් ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණේ ඉකුත් 23 වැනිදාය. පසුව පෙරේදා (30) තවත් සැකකරුවන් දෙදෙනකුද රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන තම වෙළෙඳසලේ සේවය කළ සේවකයකු වූ අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා ඉකුත් 21 වැනිදා දහවල් 2.30ට පමණ සුදු අත්කොට ටී ෂර්ට් සහ කළු දිග කලිසම් හැඳගත් පුද්ගලයන් හය දෙනකු විසින් පහරදී අංක 62-1859 දරන කළුපාට ඩිෆෙන්ඩර් රථයේ දමාගෙන පැහැරගෙන ගොස් ඇතැයි නො. 654, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි කලීල් මොහොමඞ් සෆ්රිනාත් නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබිණ.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. චන්ද්‍රතිලක, ප්‍ර. පො.ප. සමන් ප්‍රේමතිලක යන නිලධාරීහු වැඩිදුර වාර්තාව සමගින් අධිකරණයේ පෙනී සිටියහ.

නිමන්ති රණසිංහ
– රිවිර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p