ෆොන්සේකාගෙන් මිලියන 500ක් ඉල්ලා නඩුපවරන්න සූදානම්

November 6, 2015

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා ‍හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බව හෙ‍තෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුවේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ෆීල්ඩ්  මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

එහිදී ඇමතිවරයා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් ධූරය ලැබුණු පසු සියල්ල අමතක වී ඇති බවයි.

2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් මෙහෙය වූවේ එජාපය විසින් බවත්, එම මැතිවරණ ව්‍යාපාරයට රුපියල් මිලියන 2000ක් පමණ ලැබුණු බවත්, පැවසූ ඇමතිවරයා ඉන් රුපියල් මිලියන 100ක් පමණ තම හිතවත් ව්‍යාපාරිකයින්ගෙන් ලබාදුන් ඒවා බවද පැවසුවේය.

ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු මුදල් මුල් අවස්ථාවේදී ෆොන්සේකා මහතා අත තැබූ විට මෙතරම් මුදලක් යැයි කියා ඔහු පුදුමයට පවා පත්වූ බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද මෑත කාලයක සිට ඔහු තමන් හා අමනාපයෙන් සිටින්නේ කාරණා කිහිපයක් මත බවද ඇමතිවරයා හෙළි කළේය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගැනීම, ‍ෆොන්සේකා  හා අමනාපයෙන් සිටින කිහිප දෙනෙකු අත්අඩංගුවට නොගැනීම, 2010 ජනාධිපති මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් කතාව සම්බන්ධයෙන් සහය නොදැක්වීම, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කර තමන්ට එම ධූරය ගැනීමට සහය නොදීම, මුදලක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියකින්  දුන් තීන්දුවක් අනූව ක්‍රියා නොකිරීම යනාදී කාරණා ඒ අතර වන බව ඇමතිවරයා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p