ආණ්ඩුවත් ආණ්ඩුවේ විපක්ෂයත් ආණ්ඩුවේ

November 5, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය තමාට දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පක්ෂයේ ඇතැමුන් එසේ කියන විට ජනතාව තමාට තවදුරටත් දේශපාලනය කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ජනතාව හමුවූ අවස්ථාවකදීය.

තමා විශ්‍රාම සුවයෙන් සිටින්නට කල්පනා කළද නැවත දේශපාලනයට පැමිණියේද ජනතා ඉල්ලීම නිසා බවත්, මේවන විට උසාවි කැඳවීම්, කොමිෂන් හමුවට කැඳවීම්, දිගින් දිගටම සිදුවන නිසා ඒවාට ප්‍රතිචාර දැක්වීමට දේශපාලනයේ රැඳී සිටින්නට සිදුව ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ශ්‍රීලනිපය සමග සිටින පක්ෂ එළවා දමන්නට ඉඩනොදෙන ලෙස තමන් පක්ෂයෙන් ඉල්ලා සිටින බවත්, එසේ වෙන්ව තරඟ කළ අවස්ථාවන්හිදී පරාජය අත්වුණු බවත් ඔහු සිහිපත් කළේය.

පසුගිය මැතිවරණ දෙකින්ම ශ්‍රීලනිපය පරාජය කරනු ලැබුවේ තමන් විසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම පිළිගෙන ඇති බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීමට තමන් කැපවන බව ජනාධිපතිවරයා පවසා සිටීම වැදගත් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේවන විටත් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රීලනිපයත් ඒකාබද්ධව ඇති බැවින් ඉදිරි මැතිවරණයේදී ජනතාව හමුවට ගොස් කුමක් කියන්නේදැයි ප්‍රශ්නයක් මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මේවන විට ආණ්ඩුවත් ආණ්ඩුව තුළ සිටිනවා සේම විපක්ෂයත් ආණ්ඩුවේ සිටින තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක බවත් එහි ගැටළුවක් නොමැති නමුත් මේ දෙදෙනාම මේ රජය පිහිටුවන්නට සහය දුන් අය බවත්, ඒ නිසාම විපක්ෂත් ආණ්ඩුවේ බව පැහැදිලි වන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p