පරිපාලන දුර්වලතා නිසා අවුරුද්දකට රු.බිලියන 225ක් විනාශවෙනවා

October 20, 2015

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුර්වල පරිපාලනය නිසා වසරකට රු. බිලියන 225ක් අහිමිවන බව පුද්ගලික බස් හිමියන්ගේ
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

දැනට ආණ්ඩුවේ යහපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බව ඔහු කියා සිටියේ අද (19) නාරාහේන්පිට පැවති
ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජය පත්වී දින 62ක් ගත වුණද ප්‍රවාහන ක්ෂේත්‍රයේ වගකිවයුතු ආයතනවලට පුද්ගලයින් පත්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයාට හැකිවී නැති බවත්, ජාතික ගමනාගමසන කොමිසමේ පත්කළ යුතු අයගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම පැවති අමල් කුමාරගේට කැබිනට් අනුමැතිය පවා හිමිව තිබියදී අමාත්‍යවරයාගේ ඥාතියෙකු වන හේමචන්ද්‍ර නමැත්තෙකු පත්කර ඇති බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට තමන් ද සහය වුණු බවත්, එහෙත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව විනා පුද්ගලික
තනතුරු කිසිවක් බලාපොරොත්තු නොවන බවත් ඔහු අවධාරණය කළේය.

හවුල් ආණ්ඩු යුරෝපයට සුදුසු වුවද ලංකාවට සුදුසු නොවන බවත්, හවුලේ කැඳත් එපා යයි කියන කියමන මේ වන විට ආණ්ඩුව විසින් තහවුරු කරමින් සිටින බවත්, ජනාධිපතිවරයාගේ අත්හදා බැලීම හොඳ වුවද මේවන විට හැම අතින්ම සිදුවන්නේ කඹ ඇඳීමක් බවද විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා බස්නැවතුම්පළවල් හා දුම්රිය නැවතුම්පළවල නිරීක්ෂණ චාරිකා වල නිරත
වුවද ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් නොපවතින බව ඔහු සඳහන් කළේය.

ලබන මසදී ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීම සිදුවන බවත්, සෑම රජයක්ම පාහේ අයවැය සැකසීමට කලින් තම සංගමයේ අදහස් උදහස්ද විමසා බලන නමුත් මෙවර එවැනි කිසිදු දැනුම්දීමක් කර නැති බවත්, මේ ආකාරයෙන් ආණ්ඩු ගෙනයාමට හැකියාවක් නැති බවත් විජේරත්න මහතා කියා සිටියේය.

මෝටර් රථ කොමසාරිස්වරයා විසින් බස් රථ රියදුරන්ට පුහුණුවක් ලබාදෙන බව පවසා ඇති බවත්, තම සංගමය සමග සාකච්ඡා කිරීමකින් ‍තොරව එවැනි ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළකරන බවත්, තමා හා සාකච්ඡා කිරීමකින් තොරව එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවහොත් වර්ජනයකට යාමට සිදුවනු ඇති බවත්
ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p