ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට..

October 17, 2015

ආර්ථිකය තුළ අංශ ගණනාවකින් නොසන්සුන්තාවන් වර්ධනය වී ඇත. පසුගිය දින සියයේ ආණ්‌ඩුව විසින් ගත් තීන්දු තීරණ ද මීට අඩු වැඩි වශයෙන් බලපා තිබේ. රුපියල පිරිහී විදේශ සංචිතද අඩු වී ඇත. අපනයන වර්ධනය සෘණ වී රථවාහන ඇතුළු ආනයන වර්ධනය වීමෙන් වෙළෙද හිඟය වර්ධනය වී තිබේ. බදු ආදායම අඩු වී ඇති අතර ඉකුත් අතුරු අයවැයෙන් හඳුන්වා දුන් අලුත් බදු වර්ග ද ක්‍රියාත්මක කළ නොහැකි වීමෙන් එම බදු වර්ගවලින් අපේක්‌ෂිත ආදායම් ද ලබා ගත නොහැකි විය. රුපියල පිරිහීම නිසා ආනයනික සියලු භාණ්‌ඩ වර්ගවල මිල ගණන් ඉහළ ගොස්‌ තිබේ. මේ අතරම තම නිෂ්පාදන විකුණා ගත නොහැකි වීමෙන් සහ ඒවාට නිසි මිලක්‌ නොමැතිකමින් වී ගොවියා මෙන්ම තේ සහ රබර් වගාකරුවන් ඇතුළු ගොවි ජනයා ද අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ තුළ සමස්‌ත ආර්ථික ක්‍රියාකාරීත්වය ද පසුබෑමට ලක්‌වීමෙන් මේ වසරේ (2015) ආර්ථික වර්ධනය ද අඩු වනු ඇත . මේ ආර්ථීක පසුබෑම් සමනය කර ගැනීම සඳහා නිසි තීන්දු තීරණ ගනිමින් ආර්ථීකය කළමනාකරණය කළ යුතු මොහොතකට රට පත්ව තිබේ. ලබන වසර (2016) සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 20 වැනිදාය. ඒ සඳහා ඇත්තේ තවත් මසක පමණ කාලයකි. ඒ නිසා ඉදිරි අයවැය ලේඛනය තුළින් නිසි අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මේ ආර්ථීක අර්බුද සමනය කර ගැනීමටද වත්මන් ආර්ථීක බලධාරීන්ට අවස්‌ථාවක්‌ උදා වී තිබේ. ඉන් මේ ආණ්‌ඩුව නිසි ප්‍රයෝජන ගනිමින් පවතින ආර්ථීක පීඩාවෙන් ජනතාවට සැබෑ ලෙසම සහන සලසා දීමට ක්‍රියා කළ යුතුව තිබේ .

පසුගිය අතුරු අයවැයෙන් ජනතාවට දුන් පොරොන්දු අපට මතකය. ඉන් එක පොරොන්දුවක්‌ වුයේ තේ කිලෝවක්‌ සඳහා රු.80 ක සහතික මිලක්‌ ලබා දෙන බවයි. එහෙත් දැන් උදා වී ඇති තත්ත්වය කුමක්‌ද ? මේ වන විට අමු තේ දලු කිලෝවක්‌ අලෙවි වන්නේ රුපියල් 40 ත් 50 ත් අතර මිලකට බව කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනයේ කැඳවුම්කරු ලාල් ප්‍රේමනාත් මහතා පසුගියදා මාධ්‍යට පවසා තිබුණි. .රුපියල් 80 ත් 90 ත් අතර මිලකට පැවති තේ කිලෝව මෙසේ පහත බැසීම මත කුඩා තේ වතු හිමියන් ඇතුළු තේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාම දැඩි අර්බුදයකට ලක්‌ව ඇතැයි ද ඔහු පවසා තිබුණි. මේ තත්ත්වයට රජයට මුළුමනින්ම වගකිව නොහැකි බව ඇත්තය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ කිලෝවක්‌ සඳහා ලැබෙන මුදල අඩු වීම මත මෙම තත්ත්වය උදා වුව ද, කොළඹ තේ වෙන්දේසියට රජය මැදිහත් වීමක්‌ සිදු කළහොත් එම තත්ත්වය යම් තරමකින් අවම කරගත හැකි බව ද ලාල් ප්‍රේමනාත් මහතා කියයි. ලෝක වෙළෙඳ පොළේ තේ මිල පහත බැසීම හා ශ්‍රී ලංකා තේ ක්‌ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව තේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා සමග සාකච්ඡා කර රජය කඩිනමින් පියවර ගත යුතු බව ඔහු කියයි. මෙසේ මිල අඩු වීමෙන් කඩාවැටෙමින් පවතින තේ කර්මාන්තය නඟාසිටුවීමට කඩිනමින් පියවර නොගන්නේ නම්, රට පුරා දැවැන්ත විරෝධතා පවත්වන බව ද ඒ මහතා රජයට අනතුරු ඇඟවීමක්‌ කරයි. ඒ අනුව ගාල්ල නගරයේදී කුඩා තේ වතු හිමියන් පසුගියදා විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වීය. මෙවැනි බරපතල ප්‍රශ්නයකට අපේ තේ ගොවියා මුහුණ දී සිටියත් එයට නිසි විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළක්‌ නම් පෙනෙන්නට නැත. එසේම රජය රබර් සහතික මිලද කිලෝවකට රු.350 දක්‌වා පසුගිය අතුරු අයවැයෙන් වැඩි කළේය. එහෙත් රබර් ගොවියාටද තේ වගාකරුවාට මෙන්ම ඒ මිල ලැබෙන්නේ නැත .

දැනට පවතින අඩු පොලී අනුපාත වාතාවරණය ආර්ථිකයට හිතකරය ‘උද්ධමනය අඩු මට්‌ටමක පැවතීම මීට හේතුවයි’ අඩු පොලී අනුපාත නිසා ණය ඉල්ලුම ඉහළ යයි. එය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ යාමට හේතුවකි. එහෙත් පරිභෝජන අවශ්‍යතා සදහා වැඩියෙන් ණය ගැනීම් ඉහළ යාම නම් එතරම් හිතකර තත්වයක්‌ නොවේ. මෙවැනි තත්වයක්‌ ණය ගැනීම් තුළ නිරීක්‌ෂණය කළ හැකි අතර මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ සැප්තැම්බර් මස මුල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සදහන්ය.

‘පුළුල් මුදල් සැපයුම 2015 ජුලි මාසයේදී වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත සියයට 16.2 කින් වර්ධනය වූ අතර, ඒ සදහා මුළුමනින්ම දේශීය ණය සැපයුමෙහි ප්‍රසාරණය හේතු විය. 2015 ජූලි මාසයේ” පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් ලබා දුන් ණය ප්රසමාණය වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත සියයට 21 කින් වර්ධනය වූ අතර ,එය ජුලි මාසය තුළ” රු.බිලියන 40.9 ක ප්රෂමාණයක්‌ සහ 2015 වසරේ පළමු මස හත තුල” රු.බිලියන 245.9 ක ප්‍රමාණයක්‌ විය. අඩු උද්ධමන වාතාවරණය තුළ දැනට පවත්නා අඩු වෙළදපොල පොලි අනුපාත, පුද්ගලික අංශය වෙත සපයනු ලබන ණය ප්‍රමාණය ඉහළ නැංවීමට හේතු විය .මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු සහ මුල්‍ය ආයතන මගින් ඇතැම් ණය කාණ්‌ඩ, විශේෂයෙන් මෝටර් රථ වාහන සදහා වන ණය ලබා දීම්වල ඉහළ වර්ධනයක්‌ නිරීක්‌ෂණය කරන ලදී. ඒ අනුව, මෙම ප්‍රවණතාව මගින් මුල්‍ය අංශයෙහි ඇති විය හැකි පද්ධතිමය අවදානම වැලැක්‌වීම සදහා වන පූර්ව ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්‌ෂණය කරනු ලබන බැංකු සහ මුල්‍ය ආයතන හරහා මෝටර් වාහන මිලදී ගැනීම සහ උපයෝගී කිරීම සදහා වූ ණය හා අත්තිකාරම් වලට අදාලව වටිනාකම මත ණය අනුපාතය (කද්බ එද ඩැයසජකැ ර්එසද) සියයට 70 ක උපරිමයකට සීමා කරන ලදී .’

පසුගිය කාලය තුළ වාහන ආනයනය විශාල ලෙස ඉහළ ගොස්‌ තිබේ. මේ අවස්‌ථාවේ එය පාලනය කිරීමේ අවශ්‍යතාක්‌ තිබෙන බව ඇත්තය. එහෙත් මේ අහිතකර තත්ත්වයන් වර්ධනය වූයේ නිකන්ම නොවේ. මේ රජය බලයට පත් වූයේ මේ වසරේ (2015) ජනවාරි 08 වැනිදාය. මේ වන තෙක්‌ රට පාලනය කළේ මේ අයමය. නිසි තීන්දු තීරණ ගත්තානම් මෙවැනි අහිතකර තත්වයන් පාලනය කර ගත හැකිව තිබිණි. එහෙත් එවැන්නක්‌ සිදු නොවීම නිසා වාහන ආනයන ඇතුළුව පොදුවේ ආනයන ඉහළ ගියේය. වෙළෙඳ හිඟය වර්ධනය වී රුපියල ද පිරිහුණි. ඒ නිසා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතනවලට මෙවැනි තත්වයන් පිළිබඳ ඉදිරි දැක්‌මක්‌ තිබිය යුතුය. එහෙත් එම නිලධාරීන්ට එවැනි දුර දැක්‌මක්‌ තිබුණත් ඇතැම් විට පැවැති මැතිවරණ සහ දේශපාලන ආර්ථිකය (චදකසඑසජ්ක eජදබදපහ) තුළ ඇතැම් විට නිවැරදි තීරණ ගැනීමේ දුෂ්කරතා ද තිබේ. එහෙත් දැන් තවත් සෑහෙන කලකට ජාතික මැතිවරණ නැත. ඒ නිසා දැන්වත්, මෙවර අයවැයෙන්වත් රටේ ඉදිරි ගමන් මගේ දිශානතිය හරි මගට ගැනීමට අවශ්‍යව හරි තීරණ ගැනීමට වත්මන් රජය ක්‍රියා කළ යුතුව තිබේ.

රජය බලවත් විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින බව කව්රුත් දන්නා දෙයකි. රුපියල පිරිහෙන්නේ මේ නිසාය. විදෙස්‌ සංචිත අඩුවන්නේද මේ නිසාය. අපේ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක්‌ රටින් පිටට ඇදී යමින් තිබීම මේ තත්වයට හේතු වී තිබේ. පසුගිය මාස හතේ අපගේ අපනයන ආදායමේ ඇත්තේ පසුබෑමකි. මේ නිසා අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට හේතුවන තිරසාර ක්‍රියාමාර්ග මෙවර අයවැයෙන් අප විසින් ගත යුතුව තිබේ. වත්මන් විදේශ විනිමය අර්බුදය හමුවේ අපට ඒ සඳහා ගත හැකි තාවකාලික පිළියම් තිබුණත්, මේ සඳහා ඇති දිගුකාලීන තිරසාර පිළියම වන්නේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමයි. අපනයන ආදායම් වරධනය කර ගැනීම අතිශයින් වැදගත්ය. එහෙත් අපනයන ආදායම ක්‍ෂණිකව කෙටි කලකින් වර්ධනය කර ගැනීම අපහසු බව ඇත්තය. එහෙත් ඒ සඳහා ඵලදායී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මෙවර අයවැයෙන් ඊට ආරම්භය දිය යුතුය. මේ වර්ෂයේ පමණක්‌ නොව පසුගිය වර්ෂ ගණනාව තිස්‌සේම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක්‌ ලෙස අපේ අපනයන ආදායම අඩු වී තිබේ ඒ නිසා. පොදුවේ සියලුම අපනයන ප්‍රවර්ධනයට පියවර ගන්නා අතරම විශේෂයෙන් අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ආයෝජන ප්‍රවර්ධනයට මෙවර අයවැයෙන් දිරිගැන්වීම් ලබාදීම වැදගත් බවද අපි කියා සිටිමු. විදේශ විනිමය අර්බුදයට දිගුකාලින මෙන්ම කෙටිකාලීනවද පියවර ගත යුතුව තිබේ. එනම් කෙටිකාලීන පිළියමක්‌ වශයෙන් අනවශ්‍ය සහ අත්‍යවශ්‍යව නොවන ආනයන පාලනයට රජයට පියවර ගත හැකිය. ඒ සඳහා රජය දැනටමත් යම් යම් පියවර ගෙන තිබේ. විශේෂයෙන් රථවාහන සඳහා බදු අය කිරීමේදී එම ආනයනික වාහන තක්‌සේරු කරන නව ක්‍රමවේදයක්‌ රේගුව විසින් හඳුන්වාදී ඇත. මේ හරහා රජයට වැඩි රේගු බදු ආදායමක්‌ අය වේ. ඒ තුළින් වාහන මිල ඉහළ යන නිසා වාහන ආනයනය කිරීම ද අඩුවේ. මෙසේ දැනට පවතින විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා යම් කාලයකට හෝ අනවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීම සඳහා රජයේ බදු ප්‍රතිපත්තිය යොදා ගැනීමටද රජයට සිදුවනු ඇත.

 

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p