සිරියාවේ ISIS නසන මෙහෙයුම අති විශිෂ්ඨයි

October 14, 2015

සිරියාවේ සිදු කරමින් සිටිය රුසියානු මැදිහත්වීම ඉහලින්ම අනුමත කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ පවසන්නේ මෙම ප‍්‍රහාරයන් අගය කරමින් මෙරට රුසියානු තානාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකිනි.

අදාල ලිපිය සම්පූර්ණයෙන් මෙහි දැක්වෙයි.

ගරු ඇලෙසැන්ඩර් ඒ. කර්චාවා මැතිතුමා,
ශ‍්‍රී ලංකා රුසියානු තානාපති කාර්යාලය,
අංක 62, සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07

ගරු මැතිතුමනි,

සිරියාවේ රුසියානු මැදිහත්වීම අගය කිරීම

රුසියාවේ කෲස් මිසයිල ප‍්‍රහාරවලින් ම්ලේච්ඡ ISIS ත‍්‍රස්ත කඳවුරු 11ක් විනාශ කෙරුණු බව අසා අපි ඉතා සතුටට පත් වුණෙමු. එසේම ඈත පිහිටි ඉලක්ක වෙත මහ මුහුදේ සිට සිවිල් ජනතාවට හානියක් සිදු නොවන ආකාරයට නිවැරදිව මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමේ රුසියානු තාක්‍ෂණික හැකියාව අපි ඉතා ඉහළින් අගය කරමු.

සිරියානු අහිංසක සිවිල් ජනතාව ලක්‍ෂ ගණනක් සරණාගතයන් බවට පත්කරමින් වසර ගණනාවක් තිස්සේ දියත් වූ සිවිල් යුද්ධය අවසන් කොට එරට නීත්‍යනුකූල රජය සහ අහිංසක සිවිල් ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වීම මගින් රුසියානු රජය ඉතා වැදගත් ජාත්‍යන්තර යුතුකමක් ඉටුකර ඇත. එය ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින මධ්‍යස්ථ මතධාරී බහුතර ලෝක ජනතාවට ශක්තියක් සහ ආශිර්වාදයක් බව ද අපි විශ්වාස කරමු. රුසියානු රජයට මේ ආකාරයෙන් තම ජාත්‍යන්තර වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමට ධෛර්ය සහ ශක්තිය අපි එකසිතින් ප‍්‍රාර්ථනා කරමු.

ස්තූතියි,

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p