ඩී.අයී.ජී රිමාන්ඩ්

September 30, 2015

වව්නියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී සැකකරුවන් හත් දෙනෙකු අධිකරණය හමුවේ  වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ඉන් එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ 75,000ක දඩයක් ද  අනෙක් හය දෙනාට රුපියල් ලක්ෂය බැගින් ද දඩ නියම කර නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා නියෝග කර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔක්තෝබර් මස 7 වන දින දක්වා යළිත් වරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාවරයා නියෝග කර ඇත.

නිධන් හැරීමේ චෝදනා එල්ල වී තිබු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවු අතර කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඉන් අනතුරුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p