ෆර්දාවට අභියෝග කළ හයිෆා මුසාවි

September 17, 2015

ජීවිතේ තියෙන හැම සදා නන්දනීය හැඟීමක්ම අපි විඳින්නේ හුඟාක් ආසවෙන්.මල් හීන පිරුණු පාට පාට හීනවලට අපි හුගාක් ආදරේ කරන්නේ ඒකයි.කළු සුදු හීන අතරින් දේදුනු පාට හීන අපි හැමදාමත් හොයන්නේ ඒකයි.

හෙණ පුපුරණ වස්සානයේ වුණත් මල් කිණිත්තක් වෙලා අපි හිනා වෙන්න දඟලන්නේ ඒකයි.පසු තැවීම්,දුක්ඛ දෝමනස්සයන්,පපුවේ හිර කරගෙන හැමදාමත් නිහඬව පැරදිලා හිතින් විඳවන,මිනිස්සු හුඟාක් අතරින්,බොහෝම පොඩ්ඩ දෙනෙක් ජීවිතේ වැටුණු තැනින් නැඟිටිනවා.අන්න එතනයි ඇත්තටම ජීවිතේ අායෙත් අපි ඉපදෙන්නෙ.

”හයිෆා මුසාවි”තිස් දෙවැනි වියේ පසු වෙන ඇය,ගිනි ගහන මහ කතරේ,අරාබි නිසොල්ලාසයේ එන කුමාරිකාවක් නම් නෙවෙයි.එත් ඒ කියන මහ කතරේ දැවුණු ගිනි ගත්ත සඳක්…

දුහුල් අදුරු සළු පට මුදා හළ,සරා සඳක් විලස,ඇගේ ලෝකය පුරා එතුණු,අන්ධකාරයේ ෆර්දාව,ඇය ඉවත් කළේ,ජීවිතය ගැන ආසාව මොහොතකට බිම තබමින්.

ෆර්දාවට වට වුණු ඇගේ ජීවිතේ පුරාවටම ඇය ගත කළ දුක් බර අතීතය තුළ,ඇය බොහෝ තරබාරු කාන්තාවක්.ඇය අසීමාන්විත සීමා බැඳීම් තුළ ජීවිතය රහසේම විඳෙව්වා…රහසේම ඉකි බින්දා..දුක තුනී වෙනකන් හැඬුවා..

ඇය පුරුදු වෙලා හිටියා පුංචි කාළේ ඉදලාම,සඟරා කියවන්න,,ඒ ”කාය වර්ධන ශිල්පය”ගැන,කාමරයේ බිත්ති පුරා කාය වර්ධන ශිල්පීන්ගේ පින්තූර විසිරුණේ නැති වුණාට,ඇගේ හිත පුරා කාය වර්ධන ශිල්පීන්ගේ රූප හැමදාම රජ කළා.

මහා වැහි බීරමට,තියා පුන්චි වැහි කදුළටත්,බයේ පුන්චි කුරුල්ලෝ ගස් රිකිළි අස්සේ හැන්ගෙනවා,එත් මහා වැහි දිය දහරට අභියෝග කරන්නට මෙන්,උකුස්සෝ,රාජාලියෝ වළාකුල්වලටත් වඩා එහායින් පියාඹනවා…ඇත්තටම මුසාවි රාජාලියෙක් වගේ,වැහි වළාකුළුවලටත් වඩා උඩින් පියෑඹූ ගැහැනියක්ය.හැමදාමත් ඔද්දල් වෙන බලාපොරොත්තුවලට ශාප කර කර ජීවිතේ විඳවනවට වඩා දෙයක් ඇයට කරන්නට වුවමනා වුණා.

ඇය වළාකුළුවලට ඔබ්බෙන් ඇති ලෝකය හොයාගෙන පියාඹනකොට හමන දැවැන්ත සුළං කපොල්ලට වාරු නැතිව ගහගෙන යන්න ගියත් ඇගේ අරමුණ ඇයව ශක්තිමත් කළා.

ඉස්ලාම් පරිසරය තුළ,ගැහැනියට අහිමි සීමාවන් අභිබවා ඇය කාය වර්ධන ශිල්පය පුහුණු වෙන්න පටන් ගත්තා.ගෙදර උදවියගේ අකමැත්ත උඩ ඇය,තමන්ගේ අරමුණ හොයාගෙන ගියා..ටික කාලෙකින් නොදැනීම ගෙදර උදවිය ඇයට සහාය වෙන්න පටන් ගත්තා,ඒ ඇය ජීවිතයේ ලැබුව පළමුවෙනි ජයග්‍රහණයයි.

වසර දහයකට ආසන්න කාලයක් පුරාවට,ඇය හුඟාක් මහන්සියෙන් පුරපු වීරිය සාක්ෂාත් වුණා.

ගෙවී යන සෑම තත්ත්පරයකම,සියුමැලි ඇගේ සිත වගේම සියුමැලි ඇගේ ශරීරයද මොහොතින් මොහොත ශක්තිමත් වුණා.”ජාත්‍යන්තර යෝග්‍යතා හා කාය වර්ධන”සන්ගම් බොහෝමයක සාමාජිකත්වය දැරූ,ඇය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ බොහොමයක් දිනා ගත්තේ,ඇගේ ජීවිතයේ මෙතුවක් කල් ගැලූ ගමන වෙනත් ඉසව්වකට හරවමින්.

දැනට ඩුබායිවල බර ඉසිලීමේ විශේෂාඥ පුහුණු කාරියක ලෙසට සේවය කරන ඇය යටතේ ගැහැනු පිරිමි බොහෝමයක් ශිෂ්‍යන් පුහුණුව ලබනවා.

පසු ගිය මසක පැවතුණු ඖෂධ භාවිතයෙන් තොරව ස්වාභාවිකව කාය වර්ධනය කිරීමේ ප්‍රථම වතාවට පැවැත්වූ,තරගාවලියෙන් ඇය හය වෙනි ස්ථානය දිනා ගත්තේ කාලයක් පුරාවට ඇය වින්ද වේදනා මල් පළ ගන්වමින්.

ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අන්තර් ජාතික,සමුළුවේ සාමාජිකත්වය ලබා ගැනීමට,ඇය අපේක්ෂා කළත් සුපුරුදු විදියට යළිත් වරක් බාධකයක් ඇය ඉස්සරහට එනවා.

ඒ බහරේන් හෝ වෙනත් මැද පෙරදිග ප්‍රදේශයක,”ජාතික කාය වර්ධන කාන්තා කණ්ඩායමක්”නොතිබීමයි.ඒත් ඇය ඇගේ අරමුණට නැවතීමේ තිත තියන්න කිසිසේත් සූදානම් වුණේ නෑ.අන්තර් ජාතික සමුළුවේ සාමාජිකත්වය ලබා ගැනීමට ඇයට යුරෝපීය රටක පුරවැසි භාවය ලබා ගැනීමට වුවමනා වුණා.ඇය ඒ පුරවැසි භාවය ලබා ගැනීමට පෘතුගාලයට යාමට සැලසුම් කළා.

”ඇන්ඩ්‍රියා සුසෑන්” ඇගේ පෘතුග්‍රීසි ජාතික පුහුණු කාරිය ඇයට නොපිරිහෙළා මහා හයියක් වුණා.

මිනිස්සු ජීවිතය හැමදාමත් ඉරණමට භාර දීලා,හැමදාමත් නිහඬව වේදනාව එක්ක අඳුරේ සැඟ වෙද්දී,මුසාවි තමන්ගේ ජීවිතේ ඉරණම තමන්ට ඔනෑ විදියට හසුරවපු ගැහැනියක්…ඔබව මාව මෙහෙයවන එකම එක අදෘශ්‍යමාන හෝ දෘශ්‍යමාන හස්තය වන්නේ තමන්ගේම පපුවේ නිදි වැදිලා ඉන්න ශක්තියයි.එයයි මුසාවිගේ ජීවන පාඩම.

Text – වින්ධ්‍යා හාරිස්පත්තුව

Sammy

Previous story Next story

Leave a comment

t

o

p